gamunu-wijeratne-speaks

 ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ඊයේ (8) දිනයේ සියයට 25 දක්වා පමණ අඩුවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. ඒ අනුව විසිදහසක් පමණ වන පෞද්ගලික බස්රථවලින් ඊයේ ධාවනය වූයේ හාර දහසකටත් අඩු සංඛ්‍යාවක් බව ද විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 



කාර්යාල වේලාවන්, පාසල් පැවැත්වෙන කාල සීමාවන් ඇතුළු අවස්ථාවලදී ගමන්වාරවල පමණක් අත්‍යවශ්‍ය ධාවනයට පියවර ගන්නා බවද ඔහු කීවේය. අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනය නොවීම හේතුවෙන් පාසල් සිසුහු රැකියා සදහා පිටත්ව ගිය පිරිස් සහ මගී ජනතාව ඊයේ (08) දිනයේ ද දැඩි පීඩාවට පත්වූහ. බස් රථ නොමැතිවීම හේතුවෙන් මගී ජනතාව බස් නැවතුම්වල පැය ගණන් රැඳී සිටි අතර පැමිණි බස් රථවලට ගමන්  කිරීමට නොහැකි ලෙස මගීන් විශාල පිරිසක් සිටිනු දක්නට ලැබිණ.

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ සහ පිට පළාත් බස් රථ සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලින් සියයට 30ක් පමණ ගමන් වාර දෙනිකව අවලංගු කර ඇතැයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටත්තේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට ධාවනය වන්නේ බරථ 800 කටත් අඩු සංඛ්‍යාවක් බව ද ඔහු සඳහන් කළේය.

බස් රථය එක් ගමනාන්තයකට පැමිණ අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථා සහ  මගීන් සමග බස් රථ අතරමග නතරවීමේ අවස්ථා රැසක් ඊයේ දිනයේ වාර්තා වූ බව විජිත කුමාර මහතා පැවසීය. ඉන්ධන හිගය දිගටම පැවතුණහොත් පොදු ප්‍රවාහන සේවා මුළුමනින්ම අඩපන වී මගී ජනතාවට දැඩි අසීරුතාවට මුහුණදීමට සිදුවනු ඇති බව ද ඔහු පැවසීය. මේ අතර ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත්මහතා පැවසීය.

 පසුගිය දින කිහිපය තුළ දුෂ්කරතා මධ්‍යයේ බස් ධාවනය කළ බවත් බලධාරීන් මැදිහත්ව මෙම ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් බස් රථ ධාවනය මුළුමනින්ම නතර කිරීමට  සිදුවනු ඇති බවත් ඔහු කීවේය. මේ අතර ඉන්ධන හිගය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා ද දැඩි බලපෑම් එල්ල වූ බව භාණ්ඩ ප්‍රවාහන හිමිකරුවෝ සඳහන් කළහ.