bus-fuel-thief

ඉන්ධන ලබාගැනීමට තම අවස්ථාව එනතුරු පැය ගණන් කල්ගත කළ යුතු බැවින් පිරවුම් හල් ආසන්නයේ පෝලිම්වල නවතා වෙනත් වැඩවලට යන බස් රථ රියදුරන් ගැන අවධානයෙන් පසුවී නවතා ඇති බස් රැගෙන ගොස් ඉතිරිව තිබෙන ඉන්ධන ඇද කළු කඩයේ විකුණන ජාවාරමක් ගැන තොරතුරු හෙළිව තිබේ.
මෙම කටයුත්තෙහි යෙදුණ බාලවයස්කාරයන් දෙන්නෙකු ගැන හෝමාගමින් වාර්තා විය.


හෝමාගම ගලවිලවන්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලීමක නවතා තිබූ පෞද්ගලික බස් රථයක් පසුගියදා රාත්‍රී සොරාගෙන ගිය බව කියන 15 වියැති පාසල් සිසුන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
හෝමාගම පිටකොටුව 138 බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉන්ධන ලබා ගැනීම සඳහා ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබියදී මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි  සිසුන් දෙදෙනකු එක්වරම බස් රථය පණ ගන්වා පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි වෙනත් රියදුරකු දැක ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත. ඒ බව එම බස් රථයේ හිමිකරුට දැනුම් දීමත් සමග ඔහු ක්ෂණයකින් එම ස්ථානයට පැමිණ එහි සිටි පිරිසගෙන් තොරතුරු වීමසා බස් රථය සොයා බසය ධාවනය වූ දෙසට ත්‍රිරෝද රථයකින් ගොස් ඇති අතර හෝමාගම ප්‍රදේශයේ දන්සලක් පැවති ස්ථානයක බස් රථය නවතා ඉන්ධන සොරකම් කරමින්සිටි බව හෙළිව ඇත.


බසය සොයා ගිය පොලිසිය සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉන්ධන සොරාගැනීමේ අරමුණින් මෙම බස් රථය පැහැරගත් බවත් මීට පෙර කොට්ටාව සහ මහරගම බස් රථ දෙකක්ද පැහැරගෙන ඉන්ධන සොරාගෙන නැවත බස්රථ දෙක මහමග අතහැර දමා ගිය බවත් පාපොච්චාරණය කර තිබේ.
15 වියැති බාලවයස්කාර එක් සැකකරුවකුගේ අයහපත් චර්යා රටාව හේතුවෙන් පාසලෙන් නෙරපූ අයෙකු බවද පොලිසිය කියයි. සැකකාර ළමුන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.