Afghanistan-earthquake-At-least-250-killed

අද (22) අලුයම ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූමිකම්පාවෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදුවී ඇතැයි විදේශ වාර්තා සඳහන් කරයි.
 රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු මිය ගොස් ඇති අතර 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන පරිදි, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඇෆ්ගනිස්ථානයේ Khost නගරයේ සිට කිලෝමීටර් 40 ක් දුරින් විය.
ගිනිකොනදිග ඇෆ්ගනිස්ථානයේ සහ අසල්වැසි පාකිස්තානයේ දුෂ්කර ප්‍රදේශවලට බලපෑ ප්‍රබල භූමිකම්පාව නිසා
මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව මාධ්‍ය වාර්තා කරයි.

අල් ජසීරා හි අලි ලතීෆි, කාබුල් සිට වාර්තා කරමින් කියා සිටියේ බලධාරීන් අවම වශයෙන් නිවාස 100 ක් පමණ විනාශ වී ඇති බව වාර්තා කරන බවයි.

"බලධාරීහු හෙලිකොප්ටර් ගෙනැවිත් ආධාර ආයතනවලට පැමිණෙන ලෙස ඉල්ලා ඇත.

නමුත් එය දුරස්ථ ප්‍රදේශයක් වන අතර ළඟා වීමට අපහසුය," ඔහු පැවසීය.
පකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ ඉන්දියාවේ මිලියන 119 ක පමණ ජනතාවකට කිලෝමීටර් 500 (සැතපුම් 310) පමණ පරාසයක සෙලවීම දැනුණු බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

පකිස්ථාන කාලගුණ දෙපාර්තමේන්තුව පැවසුවේ, පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල භූමිකම්පාව දැනුණ බවයි.