asia-cup-sri-lanka-2022

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යළිත් ගැටලුකාරී. වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ.මේ වනවිට රට තුළ මතුව ඇති ඩීසල් සහ පෙට්‍රල් හිඟකම හේතුවෙන් කණ්ඩායම් 05කට වැඩි සංඛ්‍යාවක තරගාවලියක් සංවිධානය කිරීමේදී 

ඒ සඳහා ප්‍රවාහන වියදම් සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන වැඩි වශයෙන් වියදම් කිරීමට සිදුවීම මීට මූලික හේතුව වී තිබේ. එමෙන්ම එම තරගාවලියේ තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීම නිසා ඉන්ධන අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලියක්ද (එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං සහභාගිවන) පැවැත්වෙන අතර,

ඒ අනුව වැඩි ධාරිතාවක ඉන්ධන ප්‍රමාණයක් මෙවර අවශ්‍ය වන බව ගණන් බලා තිබේ.රජය මේ වනවිට දැනට පවතින ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදීම මත මෙම තත්වය තව තවත් උග්‍රවී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු පවසා සිටියේ ඩීසල්, පෙට්‍රල් නොලැබුණහොත් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැටලුකාරී වනු ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය මෙරටදී පැවැත්වීමට සිදු කළ හැකි සියලුම කාර්යන් සිදු කරන බවත්, ආසියානු ක්‍රිකට් තරගාවලිය වැනි රටවල් කිහිපයක් සහභාගි වන තරගාවලියක් මේ අවස්ථාවේ මෙරටදී පැවැත්වීම මෙරට ආර්ථිකයට බොහෝ වාසිසහගත බවත් එම විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම තරගාවලියට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා කරන බවත්,ඕස්ටේ‍්‍රලියානු තරගාවලියේදී මෙන් කිසිදු අතපසුවීමක් නොවී ඉන්ධන ලබාගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.


(පැතුම් ශ්‍රී විජේරත්න)