asgiri-thera-speaks

අද වන විට මෙරට මෙවන් විනාශකාරී තත්වයකට පත් වී ඇත්තේ මහා  සංඝරත්නය ලබාදුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්ටන් ශක්‍ර දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියෝ පැවසූහ. මහනුවර, මඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකදී මහනාහිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී මහනාහිමියෝ මෙසේද සඳහන් කළහ.

බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළා. භික්ෂූන් වහන්සේලා  කියන්නේ නින්දා අපහාස විඳ දරාගෙන වැඩ කටයුතු කළ හැකි පිරිසක්. උදාර සේවාවන් නුරුස්සන පාපී අදහස්වලින් යුක්ත පිරිස් බොහෝ දෙනා අප අතර ජීවත් වෙනවා. මනුෂ්‍යයන් කිව්වට බොහෝ  සුළු පිරිසකට පමණයි බුද්ධිමත්ව සිතා මතා මේ දේ හොඳයි මේ දේ නරකයි කියා තේරුම් ගෙන කටයුතු කළ හැක්කේ. එම නිසා වැඩි දෙනා අන්තගාමීන් හැටියටයි සැලකිය හැකි වෙන්නේ.

අද මෙතන සිටින පුංචි දරුවන් පවා දන්නවා අද අපේ රටට වෙලා තිබෙන විපක්තිය. ඊට හේතූව කුමක්ද කියාත් දන්නවා. ඒ පිළිබඳව අප කනගාටු වෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ.

භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඒ අයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවවාද අනුශාසනා කළා. නමුත් ඒවා නොතකන බවක් තමයි අපට පෙනෙන්න තිබුණේ. මේ විදිහට ගියොත් මේ රට විනාශ වෙන  තැනට පත් වෙනවා. අප ඒ සියලු දේ ඒ අයට තේරුම් කර දුන්නා. නමුත් ඒ අය ඒවා තැකීමක් සැලකීමක් නොකරන බවක් ඉතාම පැහැදිලිව පේනවා. එම නිසා නොවෙන දේකට නොකෙරෙන දෙයකට කතා කිරීමට ගොස් වැඩක් නොවෙන බව මේ රටේ භික්ෂන් වහන්සේලා තේරුම්ගෙන තිබෙනවා. දැන උගත් සියලු දෙනා මේ රට පත් වී තිබෙන තත්ත්වය ගැන කනස්සල්ලට පත් වෙනවා.

තමගේ දරු දැරියගේ අනාගතය ගැන දෙමවුපියන් සිතන කොට දෙමවුපියන් හැටියට ඒ සියලු දෙනා  දුක් වෙනවා. කනගාටු වෙනවා.

නමුත් කළ හැකි දෙයක් නෑ. බුදුන් වැඳ ත්‍රිවිධ රත්නයට ගරු කරනවා හැරෙන්නට, දෙවියන්ට කියනවා හැරෙන්නට,  කියයුතු මනුෂ්‍යයෙක් නැහැ. මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. එම නිසා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා දෙවියන්ට කියන්න පමණයි තිබෙන්නේ මේ රට ආරක්ෂා කර දෙන්න කියා. බුදුරජාණන් වහන්සේ මේ බව දැනගෙන වෙන්න ඕනෑ එදා මේ රට ශක්‍ර දෙවියන් වහන්සේට මේ රටේ ආරක්ෂාව බාර දුන්නේ. ශක්‍ර දෙවියන් විෂ්ණු දෙවියන්ට ඒ කාර්යය පැවරුවා. එම නිසා ශක්‍ර දෙවියන් සහ විෂ්ණු දෙවියන් ඇතුළු දේවතාමණ්ඩලයට මේ රටේ ආරක්ෂාව බාරයි.

බෞද්ධයන් හැටියට පුණ්‍ය කටයුතු හොඳින් කරනවා නම් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂක්ෂාව ලැබෙනවා. ශක්ති පමණින් අපත් මේ රට ආරක්ෂක්ෂා කිරීමේ කාර්යභාරය කරනවා. පසුගිය කාලවකවානුවේ සිදුවෙච්ච විපත්ති දිහා බලන කොට මේ රට මේ තරමින් තිබෙන එක පිළිබඳවත් සෑහීමකට පත්විය හැකියි.  මේ යන තත්ත්වය අනුව අපගේ අනාගතය පිළිබඳව කිසිසේත්ම  සතුටුවිය නොහැකියි. ඒ පිළිබඳව කනගාටු වෙලාත් වැඩක් නෑ. ජය පරාජය හොඳ නරක විඳ දරාගෙන කටයුතු කළ යුතුයි. මරණය, අනිත්‍යය පිළිබඳවයි බුදු බුදුදහමේ උගන්වන්නෙ. එම අවබෝධය දහම් පාසල් තුළින් අප සියලු දෙනාට ලබාදී තිබෙනවා.