anoma-janadari-speaks

ප්‍රවීණ සිනමා නිළි අනෝමා ජනාදරී පවතින ජනතා අරගලයට කලාකරුවන්ගේ දායකත්වය වෙනස් කෝණයකින් දකිමින් අදහස් පළ කර තිබේ. අද පළවූ ජාතික පුවත්පතකට ඇය මෙසේ පවසා තිබේ.

"අපි කියන කරන දේවල් සම්බන්ධයෙන් වගකීමක් අරගෙනයි අපි එය කළ යුත්තේ. පවතින තත්වය ගැන ප්‍රදර්ශන කාමයෙන් කටමැත දොඩවලා විසඳුම් හොයාගන්නවා වෙනුවට පුළුවන් සෝෂල් මීඩියා පොරක් වෙන්න. ඒ වගේම පවතින සමාජ අර්බුදය වැඩිකරන්න. ඒ නිසා මම සියල්ල අධ්‍යයනය කරමින් ක්‍රියාශීලීව ජිවත් වෙනවා. මේ අවස්ථාවේදී ඉදිරියට ආපු නිළියන් පිළිබඳවත් සාධාරණ විවේචනයක් මට තියෙනවා.



මම කියන්නේ සමස්තයක් හැටියට මේ කෑගහන නළු නිළියන් දේශපාලනය දන්නෙත් නෑ. රඟපෑම ගැන දන්නෙත් නෑ. ඒ නිසා තමයි ඔවුන් පාලකයා එළවා දමන දැවැන්ත ඊනියා දේශපාලනයට අතගහන්නේ. ඉතින් අද වෙනකොට මේ නිළියෝ ඔප්පු කරලා තියෙනවා ඔවුන් දේශපාලන අතකොළු විත්තිය. පටන් ගත්තේ නිර්දේශපාලනික කියලා දැන් ඔප්පු වෙලා දේශපාලන අතකොළු කියලා. කොහොමද ඉතින් අරගලය ජය ගන්නේ? රටේ මහජනතාවගේ විවිධ වෘත්තීන් භාරව අමාත්‍යංශ තිස් අටක් තියෙනවා, කැබිනට් ඇමතිවරු තමයි මේ අමාත්‍යාංශ භාරව වගකීම් දරමින් රටේ සංවර්ධනය මෙහෙයවන්නේ. ඒ අතරිනුත් අපිට තිබුණු වරප්‍රසාදය තමයි සංස්කෘතිය, සිනමාව, සාහිත්‍ය කෙලින්ම අගමැතිවරයා යටතේ තිබීම.

මගේ වෘත්තිය සිනමාව. එය අයිති සංස්කෘතියට. සෞන්දර්යයට මේ වෘත්තිය කොයිතරම් දියුණු කරන්න පුළුවන්ද? වසංගත තත්වයක් අතරතුරදීත් ප්‍රංශයේ පැවැත්වෙන කෑන්ස් සිනමා සම්මාන උළෙලට ඉන්දියාවට නියෝජනය කරමින් දීපිකා පදුකෝන් සහ ඓශ්වර්යා රායි රතු  පලස මතින් ලෝක ප්‍රජාවගේ පිදුම් ලබන්නට ආරාධනා ලබනවා. අපේ අසල්වැසි ඉන්දියානු සිනමාවෙන් නිළියන්ට මෙවැනි  ඉරණමක් අත්පත් වෙද්දී ලාංකීය සිනමාවේ ඓශ්වර්යා දීපිකාගේ වයසේ සිටින තරුණ නිළියන් පාලකයින් එළවීමට යකඩ වැටවල් මත නැගී බෙරිහන් දෙනවා. මෙය කොයිතරම් ඛේදජනකද?



 මොහොතකට කල්පනා කරලා බලා කොයි තරම් කලාව, සාහිත්‍යය, සිනමාව දියුණු තලයකට ගෙන්න පුළුවන්ද කියලා. මට මතකයි යහපාලන යුගයේදී මහා  සිනමාකරුවෙක් ඉහළ පුටුවකට පත් වී වැටුප් අරගෙන වාහන පාවිච්චි කරමින් කාලය නාස්ති කළා. මෙවැනි කලාකරුවෝ රජුන් තනන්නට ගොස් අන්තිමේදී රජාත් පචවුණා. පාර්ලිමේන්තූවට ගිය ගීතා කුමාරසිංහට  සංස්කෘතිය භාර රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණා. සතියක්වත් ඇයට එම ධුරයේ කටයුතු කරන්නට ලැබුණේ නැහැ. පසුගියදා සිදුවුණ ගැටුම්කාරි තත්වය නිසා කෝපයට පත් මිනිස්සු ඇගේ නිවසටත් පහර දුන්නා. ඒ බව ඇය හඬා වැළපෙමින් පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක්ද සිදුකළා.

ඇයට සිදුවූ අලාභානි සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. ඒ වග්ම ඇය සංවේදීව පාර්ලිමේන්තූවේදී හඩා වැළපුණා, ඒ ගැනත් මට දුකයි. ඇය ඒ වෙලාවේදී නිවසේ සිටි බවත් කාමරයට ගුලිවී සැඟවී සිටි බවත් ඇය මෙහිදී කියා සිටියා. මම කල්පනා කළේ ඇගේ ජීවිතයට කිසියම් හානියක් වුණා නම් අපට අහිමි වන්නේ සිනමාවේ නිල් මැණික කියා සනත් ගුණතිලක අර්ථනිරූපණය කළ මහාර්ඝ කලාකාරිය බවයි. මගේ දැනුමේ හැටියට නොදන්නා දේශපාලනය දැන නොගෙන සිටීමේ විපාකය වශයෙන් ඇයට මෙම ඉරණම් අත්වූ බවත් ඇත්තටම මහජන නියෝජිතයින් කියන්නේ තමන්ගේ දුක කියමින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හඬා වැළපෙන පිසක්ද? එසේ නැතිනම් හඩා වැලපෙන දුක්විඳින පීඩිත  ජනතාව නියෝජනය කරමින් ඔවුනට දේශපාලන නායකත්වය දෙන පිරිසක්ද? ගීතා නිළියක් හැටියට දිනු සම්මාන කෝපයට පත් අය පොළොවේ ගසා කුඩු පට්ට කළ බව කිව්වා. එතකොට අනෝජා වීරසිංහගේ සමාන, විදෙස් සම්මාන ඇතුළු මුළුමහත්  දෙයක්ම ගිනිබත්වීම පසුපස තිබුණු දේශපාලන පළිගැනීම් ගැන ගීතා උගෙන ගත් දෙයක් නැද්ද? ඇයි ප්‍රවීණ නිළියක් හැටියට  තමුන් නිරත දේශපාලනය සිදුවිය යුතු ජනතා සේවය පිළිබඳව වගකීමකින් කටයුතු නොකළේ ?



වෘත්තීය සම්බන්ධයෙන් ශිල්ප හැදෑරීමක් නැති නිසා තැතැල කලී ගැහෙනවා.  රටේ දේශපාලනය ගැන ගැඹුරු කියවීමක් නැති නිසා පක්ෂ දේශපාලනයේ අතකොළු බවට පත්වෙලා ඉන්නවා. අලුත් අර්බුදකාරී දේශපාලනය තුළත් සිද්ධ වෙලා තියෙන ඒ දේමයි. කොටසක් පොහොට්ටුවේ කොටසක් සමගි ජන බලවේගයේ. කොටසක් පෙරැට්ටෝ. කොටසක් ජාතික ජන බලවේගයේ මෙයින් තොර කලාකරුවන් දේශපාලනය කුමක්ද යන්න හැදෑරීමට නම් සිනමාවෙන් පතිරාජ ලකුණත්, වේදිකාවේ සුගතපාල ද සිල්වාගේ භූමිකාවත් මේ අය ගැඹුරින් හැදෑරිය යුතුයි. තව ඕන නම් සංගීතයෙන් කේමදාස, නන්දා මාලනී සාහිතයන් සුචරිත ගම්ලත් යන අය හැදෑරුවොත් මේ අයට පුළුවන් වේව් තමුන්ගේ කලාව හර්ෂට් හසුරුවා ගන්නට. දාරියෝ ෆෝ, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට, යොන් පෝල් සාත්‍රී ස්ත්‍යපිත් රේ වෙලා තියෙන වැඩේ තමයි අපේ කලාකරුවෝ පොතක් පත්තරයක් කියවනවාද කියන එකයි."

සාකච්ඡා සටහන -සමන්ත යහම්පත්