Signs-that-the-whole-country-will-remain-helpless-next-week-without-oil

ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයීම මුළුමනින් අඩාලවීම හේතු කරගෙන දැනට ලැබී  තිබෙන ආරංචි අනුව ඉදිරි දින කිහිපය තුළ මුළු රටේ සියලු කටයුතු අඩපණව නතරවීමේ අවදානමක් මතුව ඇත.
ඉන්ධන නොමැතිවීම නිසා පොදු ප්‍රවාහනය නතරවීමෙන් කාර්යාල කටයුතු හා අධ්‍යාපන කටයුතු කරගෙනයාමට නොහැකිවී යයි. ආහාර බෙදාහැරීමද අඩාලවේ.විදුලිය ලබාදීමද සීමාවී යයි. මෙහි බරපතලම තත්වය වන්නට ඉඩ ඇත්තේ සෞඛ්‍ය සේවාවන්ට ඉන්ධන ප්‍රශ්නය බලපාන හැටිය. රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්නවීම් හා අකල් මරණ වාර්තා වුවහොත් සිදුවන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ඛේදවාචකයකි.

 ශ්‍රි ලංකාවට එන බව දන්වා තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක්  රැගත් චැම්පියන් පුලා (Champion Pula) නම් නැව රුසියාවේ ටාමන් වරායේ සිට ශ්‍රි ලංකාවට දකුණු දෙසින් ගමන් මාර්ගයේ ශ්‍රි ලංකාව පසු කොට දකුණු ඉන්දියානු  ක්‍රිෂ්ණපට්නම් වරාය වෙත සේන්දු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.විදේශීය බැංකුවකින් අදාළ ණයවර ලිපි මුදා හැරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත නොහැකි විය.
මෙම නෞකාව හැර මෙතෙක් ශ්‍රි ලංකා මුහුදු ආසන්නයේ ශ්‍රි ලංකාවට ඉන්ධන ගෙන්වන වෙනත් නෞකාවක් නැත.



කලින් දන්වා සිටි ලෙස ඉන්ධන නැවක් ආවේ නැති බවත් ඊට සමාවන ලෙසත් ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් කිව නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (25) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. මීළඟ තෙල් සැපයුම වරායට පැමිණ එය ගොඩබාන තුරු පොදු ප්‍රවාහනය, විදුලිය නිෂ්පාදනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදෙන බව ඔහු ඒ සමග දන්වා සිටියේය. පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඔහුද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

තවදුරටත් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැඳී සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කර තිබේ.හෙට (27) දහවල් වනතුරු පිරවුම්හල් වෙත ඉන්ධන රැගත් ටැංකි රථ පිටත්ව යෑමක් සිදු නොවන බැවින් රස්තියාදු නොවන ලෙස ඔහු දන්වා ඇත.

බලාපොරොත්තු වූ පෙට්‍රල් නෞකාව මූල්‍ය ගැටලුවක් නිසා මඟ හැරීමත් සමඟ මෙරට තුළ පවතින ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහසකට පමණ අඩුව ඇති අතර එම ප්‍රමාණය  බවුසර 20කටවත් පුමාණවත් නොවන බව වාර්තාවේ.  සාමාන්‍ය දෛනික  අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4000ක් පමණ වුවද මේ දිනවල  මෙට්‍රික් ටොන් 3200ක් පමණ කරමින් ගිය සැපයුමවත් ලබාදීමට නොහැකි තත්වයක් මතුවී ඇත.
මේ වනවිට පවතින මූල්‍ය ගැටලුව හේතුවෙන් මේ වනවිට ඇණවුම් කර ඇති පෙට්‍රල් සහ දැවිතෙල් නෞකාද සැපයීම අදාළ සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද මේ අතර වාර්තා විය.


තිබෙන ඩීසල්ද ප්‍රමාණවත්ව පවතින්නේ තවත් දින දෙක තුනකට බව වාර්තාවිය.

ඉන්ධන නිකුත් කිරීම සීමා සහිත වීමත් සමඟ යළිත් ඉදිරියේ දී බස් ධාවනය සීමා කිරීමට සිදුවනු ඇති බව
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා තිබේ.

ඉදිරියේදී දුම්රිය ගමන්වාර අවලංගුවීම් හෝ ප්‍රමාදවීම් ඉහලයා හැකි බව දුම්රිය රියදුරන්ගේ සංගමයද පවසා ඇත.
සභාපති නීතීඥ කේ ඒ යූ කොන්තසිංහ පැවසුවේ දුම්රිය රියදුරන්ට රාජකාරියට වාර්තාකිරීමට ඇති අපහසුතා මෙම තත්වයට හේතුවන බවයි.

එළඹෙන සතිය (ජුනි 27 - ජුලි 1) තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කොට තිබෙන නමුත් අලුත්ම තත්වය මත එම තීරණ වෙනස්වන්නට ඉඩ ඇතැයි වාර්තාවේ.
නාගරික ප්‍රදේශවල පාසල් ලබන සතියේ සිට දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළද එය ප්‍රායෝගික නොවන බව ලංකා ගුරු සංගමයද දන්වා තිබේ.
පවතින ඉන්ධන ගැටලුව හමුවේ ලබන සතියේ, නාගරික ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් යලි සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශ ආරංචි වාර්තා කර තිබේ.

රජයේ සේවකයන්ට ලබාදී ඇති නිවසේ සිට වැඩකරන ක්‍රම දීර්ඝ කරන්නටත් ඉඩ තිබෙන අතර දැඩි දුෂ්කරතා මත පවත්වා යන පුද්ගලික ආයතන සම්බන්ධ ඒ ඒ ආයතන මගින් තීන්දු ලබාගන්නට යොමු වනු ඇති බවත් පැවසේ.