If-we-do-not-learn-lessons-from-Prime-Minister-Asalanka-hit-wickets-will-not-be-prevented-Dallas

මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ නූපේ ප්‍රධාන කාර්යාලයේදී ඉකුත්දා පැවති රැස්වීමක් අමතමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.



‘අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්. අවංකකම පිළිබඳ විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලනඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක අදාළයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප වෙලා.

ජනතාවට බොරු නොකියන, රටේ දේපළ සූරා නොකන, පොදු දේපළට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්‍යතා හඳුනාගත් දියුණු, වගකීම් සහගත සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම දිගු කාලීනව අර්බුදය ජයගැනීම සඳහා ඇති එකම මාර්ගයයි. මෙම ආකර්ෂණීය භාෂාවෙන් ෂඩ් වර්ණය මුසුකොට මැතිවරණ ප්‍රකාශ සකසා  මහජන මතය "පික්පොකට්" ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබීම නව පරම්පරාවේ බලාපොරොත්තුවයි. මින්පසු කිසිම මැතිවරණයකදී චෞරයන්ට ඡන්දය මංකොල්ල කන්නෙ දෙන්න එපා.

දේශපාලන නායකයන්ගේ සහ පක්ෂවල අධ්‍යාපන, බලශක්ති, ප්‍රවාහන, පාරිසරික හා කෘෂිකර්ම ප්‍රතිපත්ති මොනවාදැයි රටට හෙළිකිරීම මාධ්‍යවල වගකීමයි. ඒ නිසා අපට ඡන්දය දෙන්න අපි විසඳන්නම් කියන ප්‍රකාශ, "වාචාල ප්‍රකාශ" ලෙස බැහැර කළ යුතුයි. අලුත් සොරෙකු ඕනෑකර තිබේ නම් යා යුත්තේ නාට්‍ය ශාලාවකට මිස ඡන්ද මධ්‍යස්ථානයකට නොවෙයි. වර්තමාන අර්බුදයට විසඳුම් රාශියක් තියෙනවා.

වසරක් ඇතුළත, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලා සිටින පුහුණු ශ්‍රමිකයන් පුහුණු කර විදේශ රැකියාවලට යොමු කිරීම සහ ලබන වසරේ සිට එය ලක්ෂ දෙක දක්වා වර්ධනය කිරීම ඉන් එකක්, මේක අසීරු ඉලක්කයක් නොවෙයි. පිලිපීනයෙන්, ඉන්දුනීසියාවෙන් ඒ ආදර්ශ ලෝකයට දී තිබෙනවා. මේ අසීරු මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපේ දේශපාලකයන්ට සහ ඡන්ද දායකයන්ට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. අඬන රටක, අපට සිනාවක් දුන්නේ ඔවුන් පමණයි. දුෂ්කරයි කියාකිසිවක් අත්හල යුතු නැහැ. ප්‍රතිවාදියා ශක්තිමත් වූ පමණින් ඔහුට බිය විය යුතු නැහැ. ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් ඉගෙනගන්න පාඩම්, රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට තිබෙනවා.

අගමැතිවරයාට චරිත් අසලංකගෙන් හෝ චාමික කරුණාරත්නගෙන් ඉගෙනගත යුතු පාඩම් තිබෙනවා. තවමත් පාසල් ශිෂ්‍යයකු වන දුනිත් වෙල්ලාලගේගෙන් ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ 225ටම පාඩමක් තිබෙනවා. කතානායකතුමාටත් තෙවැනි විනිසුරුවරුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. නායකයන් මේවා ඉගෙන නොගත්තොත් රනවුට් හෝ හිට් විකට් වෙන එක වළක්වන්න බැරි බව අප හැම දෙනාම තේරුම්ගත යුතුයි. එහෙම නොවුණොත් මන්ද පෝෂණයෙන් පෙළෙන, ඉගෙනුම අහිමි දරුවන් සහ කුස පොත්ත ඇලී ගිය මවුපියන් සමග ඛනිජ තෙල් හලේ මරාගන්න රටක, ජාතික ධජය ලෙස අපට තෝරා ගන්නට වෙන්නේ දෙහිවල සත්ව උද්‍යානයේ නිරාහාරව ඉලඇට පෑදී ඇති සිංහයකුගේ රූපයයි."