trump-musk

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ට්විටර් ගිණුමට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කිරිමට බලාපොරොත්තු වන බව Twitter සමාගමේ නව හිමිකරුවා වන එලෝන් මස්ක් පවසයි. පසුගියදා පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් මස්ක් මේ බව සඳහන් කර තිබේ.

එහිදී විශේෂයෙන්ම තමාට පෙර පැවැති Twitter පරිපාලනය විසින් හිටපු ජනපතිවරයාගේ ටිවිටර් ගිණුම තහනමට ලක් කිරීම වැරදි සහ මෝඩ ක්‍රියාවක් බවටද මස්ක් පවසා ඇත. "ට්‍රම්ප්ට ට්විටර් තහනම් කිරීමෙන් ඔහුගේ හඩ නැවතුණේ නැහැ. අන්තිමේදී එය අයිතිවාසිකම් පිළිබද ගැටලුවක් වුණා. ඒ නිසා තමයි මම කියන්නේ එය වැරදි සහ මෝඩ තීරණයක් කියලා." මස්ක් සහන් කර තිබේ.

ට්වීටර් සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව අදහස් දක්වා සිටි එලෝන් මස්ක් ට්වීටර් වැඩසටහන් වඩාත් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ වේදිකාවක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කරන බව පවසා තිබුණි. එසේම ඊට තවත් වෙනස්කම් රැසක් සිදු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.  නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් Twitter Inc. සමාගම 2020 වසරේ අවස්ථා රැසකදීම හිටපු ජනපතිවරයාට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. එසේම 2021 ජනවාරි 06දා එක්සත් ජනපදයේ කැපිටල් හිල් හිදී සිදුවූණු කලහකාරී අවස්ථාවේදී ට්‍රම්ප් සිදුකළ මැදිහත්වීම හේතුවෙන් ඔහු ට්විටර් ගිණුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට  එම සමාගම පියවර ගත්තේය.