sri-lanka-australia-tour

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද මැද ශ්‍රී ලංකාවේ තරග සංචාරය සිදුකිරීම පිළිබඳ ඔට්‍රේලියානු ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙගිඩියාවෙන් පසුවන බව වින්දෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්වය මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම කොතරම් දුරට සදාචාරාත්මකදැයි ගැටලුවකින් ඔවුන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.  විස්සයි20 තරග 03ක්, එක්දින තරග 05ක් හා ටෙස්ට් තරග 02ක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම එළඹෙන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. කෙසේ වෙතත් මෙම සංචාරය අවලංගු කිරීමේ කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ඔට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර නොමැත. ශ්‍රී ලංකාව තුළ තවමත් සම්පුර්ණයෙන් විසඳී නොමැති විදුලි හා ඉන්ධන අර්බුදය මෙන්ම පසුගිය කාලයේ රටේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ දෙගිඩියාවට බොහෝ දුරට බලපා ඇත.

තරග සංචාරය ආරම්භ කරමින් තරග 03කින් යුත් විස්සයි20 තරගාවලිය එළඹෙන ජූනි 07දා ආරම්භ වේ. මෙම තරග දිවාරාත්‍රී තරග ලෙස පැවැත්වීමට අදහස් කර ඇතත්, රටේ පවතින විදුලි අර්බුදය හේතුවෙන් මෙහි තරග විදුලි ආලෝකය මැද පැවැත්වීමේදී ගැටලුවක්ද ඇතිවී ඇත. මෙම තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අනතුරුව එක්දින තරග සියල්ලද පැවැත්වීමට නියමිතව ඇත්තේ පල්ලෙකැලේ හා ප්‍රේමදාස ක්‍රීඩාංගණයන්හිදීය.

කෙසේ නමුත් ටෙස්ට් තරග ද්විත්වයම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. මේ වන විට රටේ පවතින ඉන්ධන  ගැටලුව හේතුවෙන් රටේ සංචාරය  සිදුකීමේදීද ගැටලුවක් පවතින බව ඔවුන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මීට අමතරව දිනෙන් දින ඉහළ යන උද්ධමනයද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ ගැටලුව තීව්‍ර කොට ඇත. නමුත් ඔස්ටේ‍්‍රලියානු ක්‍රිකට් ආයතනය තවදුරටත් සඳහන් කරනුයේ, සිය සමේට්ලනයේ මඟපෙන්වීම හා උපදෙස් මත ක්‍රීඩකයන් ක්‍රියා කරනු ඇති බවයි. ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට සහය දීමට ඕස්ටේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ද කැමැත්තෙන් පසුවන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සිදුකළේ 2016 වර්ෂයේදීය.කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් වසර 24කට පසු පසුගිය මාර්තු මසදී පාකිස්තානය තුළ තරග සංචාරය සිදුකළේද අර්බුදකාරී වාතාවරණයක් පවතින අවස්ථාවකදීය. එම සංචාරය සාර්ථකව අවසන් කර ගැනීමටද ඔවුහු සමත් වුහ.

(ඕෂිත වරකපිටිය)