sapugaskanda-waiste

සපුගස්කන්ද පිරිපහදුව වසා දමා අදට (19දා) මාස දෙකක් ගත වී තිබෙන බවත්, මෙම මාස දෙකක කාලය සඳහා සේවක වැටුප් සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වැය වී තිබෙන බවත් ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මීට අමතරව පසුගිය 25වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නැව ගොඩබෑම ප්‍රමාද කිරීම නිසා දිනකට ඩොලර් 120,000ක් ප්‍රමාද ගාස්තු මුදලක් ගෙවමින් තිබෙන බවත්, මේ අනුව අද දිනය වනවිට ඩොලර් ලක්‍ෂ 28කට අධික ප්‍රමාද ගාස්තු මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.

බොරතෙල් නොමැති වීම නිසා මාර්තු  19වැනිදා පිරිපහදුව වසා දැමූ බවත්,

එහෙත් පිරිපහදුවේ නඩත්තු කටයුතු හා ආරක්‍ෂක කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බවත් පවසා සිටි හෙතෙම, මේ වෙනුවෙන් මාසයකට සේවක වැටුප් ගෙවීමට රුපියල් කෝටි 16ක් අවශ්‍ය බවද පවසා සිටියේය.එසේම බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 83ක් දක්වා පහත වැටී තිබෙන බවත්, එසේ තිබියදී බොරතෙල්මෙරට රැගෙන ඒම පමා කරමින් වැඩි මුදලට ඉන්ධන මෙරට රැගෙන ඒමට බලධාරීන් කටයුතු කරමින් තිබෙන බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

බොරතෙල් මෙට්‍රික්ටොන් 5,000ක පිරිපහදු කළ හැකි බවත්, මේ තුළින් විදුලි බලාගාරවලට දිනකට අවශ්‍ය වන දැවිතෙල් ප්‍රමාණය නිෂ්පාදනය වන බවත් පවසා සිටි ඒ මහතා, පෙට්‍රල්, භූමිත්තෙල්. ඩීසල් නැප්තා ගස්, තාර ඇතුළු නිෂ්පාදන අටක් පමණ නිෂ්පාදනය කළ හැකි බවද පවසා සිටියේය.

විදුලි බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් ලබාදීම තුළින් විදුලි නිෂ්පාදනයට යොදාගන්නා ඩීසල් ජනතාවට ලබාදී ඩීසල් අර්බුදයට විසඳුම් සොයාගත හැකි බවත්, ගෑස් ප්‍රමාණයක්ද නිෂ්පාදනය වන නිසා ගැස් හිඟයටත් යම් විසඳුමක් ලබාගත හැකි බවත් ආනන්ද පාලිත මහතා පැවසීය. පිරිපහදුව වසා දැමීමත් සමග මෙම නිෂ්පාදන ප්‍රමාණය රටට අහිමි වී තිබෙන බවත්, මේ නිසා අදාළ නිෂ්පාදන මෙරටට ගෙන්වීම සඳහා දිනකට ඩොලර් ලක්‍ෂ හතක අමතර මුදලක් අවශ්‍ය වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


(ඉන්දික හේවාවිතාරණ)