prof-ranil-jayawardane-prasanna-ranatunga

වත්මන් රජයේ කැබිනට් ඇමතිවරයෙකු වන ප්‍රසන්න රණතුංග තමාගේ රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා නාරාහේන්පිට ලංකා රෝහලට ගොස් චැනලින් අංකය අනුව අවස්ථාව එනතුරු සිටියදී අදාළ වෛද්‍යවරයා ඇමති ප්‍රසන්න පොරොත්තු ලේඛනයේ සිටිනු ආරංචි වී හෙදියක ලවා දන්වා ඇත්තේ වෛද්‍යවරයා දේශපාලක රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන බැවින් වෙන්කිරීමේ ගාස්තුව නැවත ලබාගෙන පිටව යන ලෙසය. ඒ අනුව ඇමතිවරයා ප්‍රතිකාර ලබානොගෙන පිටව ගොස් ඇතැයි වාර්තාවේ.


මෙම ප්‍රතික්ෂේපය සිදුකර තිබුනේ පෝෂණවේදී මහාචාර්ය වෛද්‍ය රනිල් ජයවර්ධනයි.තයිරොයිඩ් සම්බන්ධ ප්‍රතිකාරයක් ලබාගැනීමට ඇමති ප්‍රසන්න එම ස්ථානයට ගිය බව පැවසේ. සිදුවීමෙන් අනතුරුව වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මාධ්‍ය අමතා සිදුවීම විස්තර කර තිබුණි.
ඔහු පවසා ඇත්තේ තමා අද දින ​රෝහලට පැමිණියේද දුෂ්කරතා විඳගෙන බවත් යාළුවෙකුගේ වාහනයකින් තමා ආවේ තම වාහනයට ඉන්ධන ලබාගන්නට බැරිව ගිය නිසා බවත්ය. ප්‍රසන්න රණතුංග තමාගෙන් මින් ඉහත අවස්ථා දෙකකදී ප්‍රතිකාර ලබා ඇති බවත් මෙලෙස අද ආවේ තෙවැනි වතාවට බවත්ය. ප්‍රසන්න පසුගිය කාලයේ මහාචාර්යවරුන්ට පවා අපහාස කරමින් පාර්ලිමේන්තුවේ කතා පැවැත්වූ අයෙකු බව පවසන මහාචාර්ය රනිල් ජයවර්ධන දේශපාලකයින්ගේ අවැඩ නිසා රට විපත්තියට පත්ව ඇති බවත් ඒ නිසා දේශපාලකයින්ට ප්‍රතිකාර ලබානොදීමට තමා පුද්ගලිකව තීරණය කළ බවත් කියා සිටියේය.


ප්‍රසන්න රණතුංග නමැති රෝගියා පැමිණ සිටිනු දැනගැනීමෙන් පසු තමා ඔහුව පිටත්කරවන්නට හා රිෆන්ඩ් කරන්නට පණිවිඩය යැවූ බවත් ඉන් පසු ඔහු යන්නට ඇතැයි තමා සිතන බවත් වෛද්‍යවරයා කියා ඇත.
මෙම ප්‍රතික්ෂේපය සම්බන්ධ පක්ෂව මෙන්ම විපක්ෂව සමාජ මාධ්‍ය තුළ අදහස් පළවී ඇත.