ol-exam-74-age

මෙවර අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යාව, හා ගණිතය යන විෂයන් සදහා 74 වැනි වියේ පසුවන නෙළුව කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාස ගොඩගේ මහතා පෙනී සිටියේය.මේ අනුව ඔහු විද්‍යා විෂය සඳහා ඉකුත් (28) වැනි දින පෙනී සිටි අතර අද (30දා) ගණිතය විෂයට නෙළුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටීමට නියමිතය.  තමත් පසුගිය වර්ෂයේ පැවති අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යා විෂයට පෙනී සිටි බවත් එම විෂයට සාමාන්‍ය සාමාර්ථයක් ලබා ගත් බවද හෙතෙම පවසා සිටියේය. තමන් සාපෙළ විභාගයට පෙනී සිටීම පිළිබද අදහස් දැක්වූ වන්ද්‍රදාස මහතා මෙසේ පැවසීය. "දැන් මට වයස අවුරුදු 74ක් වෙනවා.

1970 වර්ෂයේදී තමයි මුල්වරට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ. කලා අංශයන් තමයි විභාගයට පෙනී සිටියේ. අලපලාදෙණිය මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.

එම විභාගයෙන් විෂයන් හතයි සම්මාන හතරක් ලබා ගත්තා. නමුත් ඒ කාලයේ දේශපාලන බලපෑම් නිසා විභාගය සමත්වුවත් රැකියාවක් ලබාගන්න බැරි වුණා. මම විභාගවලට පෙනී සිටින්නේ ඉගෙන ගන්න තියෙන ආසාවට. විභාගයක් තියෙනවා නම් මට ඉල්ලුම් කරන්න හිතෙනවා. පොත්පත් කියවලා තමයි දැනුම ලබා ගන්නේ. විද්‍යාව විෂය පිළිබද මට සාමාන්‍ය දැනුමක් තියෙනවා. මෙවන් විදහා ප්‍රශ්න පත්‍රය ගිය වසරට වඩා අමාරුයි. ඉගෙන ගැනීමට විභාගයකට පෙනී සිටීම කාලයකට සීමා කරන්න බැහැ.



මිය යනතුරු ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනීමට දේවල් තියෙනවා. දැන් විභාගවල විෂය නිදේශ වෙනස් වෙලා නවීකරණය වෙලා. නවීකරණය වූ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඒ කාලයේවගේ නෙමෙයි දැන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පාසල් දරුදැරියන්ට ඕන තරම් පහසුකම් තියෙනවා. අපිට ඒකාලයේ කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. දැන් උපකාරක පන්ති තියනවා. මාධ්‍ය මගින් ඉගෙන්වීමේ කටයුතු කරනවා. අන්තර්ජාලය තියෙනවා. පුවත්පත් මගින් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනයෙන් උපරිම ප්‍රතිඵල ගන්න කියලා පාසල් දරු දැරියන්ගෙන්අල්ලා සිටිනවා."


(හිනිදුම - රවිඳු ශ්‍රීලාල් චන්දන සමරවික්‍රම - අද)