nigeria-air-fuel-crisis

නයිජීරියාව තුළ ජෙට් ඉන්ධන සඳහා වන පිරිවැය අධිකවීමත් සමග එරට ගුවන් සමාගම් සියල්ලම සිය ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කර ඇතැයි එරට ගුවන් සේවා මෙහෙයුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව අද (මැයි 09දා) සිට ක්‍රියාත්මක වන පරිදි සංගමයේ සාමාජිකත්වය දරන සියලුම ගුවන් සමාගම් සිය මෙහෙයුම් නවත්වා දමන බව එම සංගමය පවසා සිටියි.



නයිජීරියානු නයිරා 190ක මුදලකට (ඩොලර් 0.45ක) පැවැති එරට ජෙට් ඉන්ධන ලීටරයක මිල ගණන් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත දී නයිරා 700ක් (ඩොලර් 1.70ක්)දක්වා ඉහළ යාමක් සිදුව තිබෙන බවත්, මේ හේතුවෙන් එක් පැයක ගුවන් පියාසැරියක් සදහා වන වියදම නයිරා 120,000ක් දක්වා දෙගුණයකින් ඉහළ යන  බවත් එම සංගමය පෙන්වා දෙයි. මෙහිදී මූලිකවම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නයිරා  මුදල් ඒකකයේ අවප්‍රමාණයවීම ජෙට් ඉන්ධන සඳහා වැයවන මුද‍ල් ඉහළ යාමට හේතුව වී තිබේ.

නයිජීරියාව තුළ බොරතෙල් සම්පත පැවතියත්, එරටට අවශ්‍ය ජෙට් ඉන්ධන ඩොලර්ගෙවා ආනයනය කිරීම සිදු කරයි.රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමග ගෝලීය ජෙට් ඉන්ධන මිල ගණන් දරුණු ලෙස ඉහළ යාම සිදුවිය. ඒ සමග ලොව ගුවන් සමාගම් වෙත මෙන්ම ගුවන් මගීන් වෙතද ඉහළ පිරිවැයක් දැරීමට සිදුවිය.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නයිජීරියානු ගුවන් සේවා මෙහෙයුම්කරුවන්ගේ සංගමය, ජෙට් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සිය කර්මාන්තය තුළ මෙහෙයුම් පීඩනයක් නිර්මාණය වී ඇති බවත්, ඒ හරහා සිය මූල්‍යමය හැකියාව ගැටලුවකටද පත්ව තිබෙන බවත් සඳහන් කර තිබේ.

මේ අතර ජෙට් ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් නයිජීරියාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් අතරින් බොහෝමයක් පසුගිය මාර්තු මාසයේ සිටම නවත්වා දැමීම්මක් සිදුවිය. එසේම කාලසටහනකට අනුව ක්‍රියාත්මක වූ ඇතැම් ගමන් සිය මෙහෙයුම් පමා කිරීමක්ද සිදු කෙරිණි.