ජර්මන් ජාතික පවුලක් ජීවත් වූ මීගමුව ප්‍රදේශයේ නිවසක් කිසියම් පිරිසක් විසින් ඉකුත් 9 වැනිදා රාත්‍රියේ කොල්ල කා ගිනි තබනු ලැබ ඇතැයි වාර්තා වෙයි.  නිවසේ ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාව සඳහන් කර සිටියේ මෙම සිද්ධියෙන් තම නිවසේ සියළු බඩුමුට්ටු සහ ඇඳුම් පැලඳුම් 

මෙන්ම දරු දෙදෙනාගේ පොත්පත් ද විනාශ වී ඇති බවයි. තමන් කිසිදු දේශපාලන පක්ෂයකට වැඩ නොකළ බවත්, නිවෙසට ගිනි තබා බඩුමුට්ටු කොල්ලකෑම කළේ කුමන පදනමක් මත දැයි තමන්ට ගැටලුවක් බවත් එම ජර්මන් ජාතික කාන්තාව සඳහන් කළාය. තම දරුවන් දෙදෙනා මේ වනවිට අඬා වැටෙන්නේ ඔවුන්ගේ පොත්පත් ඉල්ලමින් බවත් කම දරුවන්ගේ මෙන්ම තමන්ගේ  යට ඇඳුම් පවා රැගෙන ගොස් ඇති ඔවුන්  කර ඇත්තේ අරගලයක් දැයි ඇය ප්‍රශ්න කළාය.

අරගලයක් වෙනුවෙන් තම නිවසේ බඩුමුට්ටු මෙන්ම දරුවන්ගේ පොත්පත්  රැගෙන ගියේ මන්දැයි ප්‍රශ්න කළ එම යුවළ වැඩිදුරටත් කීවේ තමන් මේ රටට ආදරය  කරන බවත්, කිසිදු අවස්ථාවක මේ රට දමා  නොයන බවත්, අරගල ලෙසින් නියම ලෙස සිදුකරන උද්ඝෝෂණ සඳහා තමන් ද සහයෝගය දක්වන බවත්ය. මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ මෙම ජර්මන් ජාතික යුවළ  එම නිවසේ කුලී පදනම මත ජීවත්ව සිටින් අය බවයි. එසේම, කිසියම් පිරිසක් ඉකුත් 09 වැනිදා එම නිවසට ගිනි තබා එහි බඩුමුට්ටු  කොල්ල කා පලා ගොස් ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

 නිමන්ති රණසිංහ