
මැයි මස 9 දා ගාලුමුවදොර හා කොල්ලුපිටියේදී ඇතිවූ ගැටුමට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශය 26දා නීතිපතිවරයාට යොමුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පැය තුනක පමණ ප්‍රකාශයක් මෙහිදී ලබාගෙන තිබේ. හිටපු අගමැතිවරයා කොළඹ රැඳී සිටින ආරක්ෂිත ස්ථානයක් වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ ඉකුත් 24 දාය.
හිටපු අග්‍රාමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහු සිටින ස්ථානයට ගොස් එම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව දන්වා තිබේ.
මහින්ද මෙම ප්‍රකාශයේදී තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව සිටි බවත් පසුගිය 9 වනදා පාක්ෂිකයන් තමන් හමුවීමට පැමිණි බැවින් ඔවුන් අමතා කතාවක් සිදුකළ බවත් පවසා තිබේ.
කෙසේ වෙතත් තමන් හමුවීමට පැමිණි පාක්ෂිකයින් පසුව අරගල භූමියට ගොස් පහරදීමට සිටි බවක් තමා දැන සිටියේ නැතැයිද එවැනි සිදුවීම් මාලාවක් ගැන තමා දැනගත්තේ පැය ගණනාවකට පසු සවස බවත් ඔහු පවසා තිබේ.
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් එදින පස්වරුවේ තමා දැනුවත් වන විට බොහෝ දේ සිදුව අවසන් බවත් එවැන්නක් සිදුවන බවට කලින් දැන සිටියේ නම් අදාළ පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට ඇතුළු කර නොගන්නා බවත් මහින්ද කියා තිබේ.
නීතිපතිවරයා දුන් උපදෙස් මත මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු සඳහන් කළේය.
නීතිපතිවරයාගේ අවශ්‍යතාවක් මතුවෙතොත් යළිත් වරක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම තීරණය කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval