karu-and-15-ministers

මෙම සතියේ පිහිටුවන්නට නියමිත අන්තර්වාර පාලනය සදහා අවශ්‍ය වැඩපිලිවෙලක් සැකසීමට සමගි ජන බලවේගයේ දේශපාලන කණ්ඩායමක් අද (8) ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හමුවී තිබේ.
නීතීඥ සංගමයේ යෝජනාවලිය සම්බන්ධයෙන් මින් ඉහත අලි සබ්‍රි ඇමතිවරයාද ප්‍රසාදයෙන් කතාබහ කර තිබූ අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයෙන් මිදීමට එම යෝජනා වැදගත් බව විපක්ෂයේද මතයවී තිබේ.



මේ වනවිට අන්තර්වාර පාලනයක් වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කොටසක සහ ජනපතිගේ ආශිර්වාදය සජබ වෙත ලැබී ඇති පසුබිමක ඉදිරි කාලය තුළ රට භාරගැනීමේ වැඩසටහනක් සැලසුම් කිරීමේ අටියෙන් සමගි ජනබලවේගය මෙම සාකච්ඡාව සිදු කරමින් සිටී. වාර්තාවන ආකාරයට නව පාලනය පිහිටුවීමෙන් පසු මාස 4 ක නිහඩ කාලයක් ජනපති ගතකරනු ඇති බවත් පසුව 21 සංශෝධනයකින් විධායක ජනපති වෙනුවට විධායක අගමැති ප්‍රමුඛ කිරීම නිසා තනතුරින් ඉබේම ඉවත්ව යනු ඇති බවත් පැවසේ.

යෝජනාවලිය පිළිබඳ නීතීඥයින් සමග දීර්ඝව සාකච්ඡා කරන අතර රටේ දැනට උද්ගතව ඇති ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳීම සඳහා මෙම යෝජනාවලිය මත පදනම්ව ජාතික වැඩසටහනක් සැකසීමටත් තීරණය කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු වැදගත් යෝජනා රැසක් අන්තර්ගත මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇත්තේ සජබ බලයට පැමිණ පිහිටවනු ලබන ආණ්ඩුවකිනි. එහිදී සජබ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධූරයට පත්වනු ඇතැයි ඊයේ සෙනසුරාදා ආරංචි පැතිර ගිය නමුත් අද ඉරිදා පැතිර යන ඇතැම් ආරංචි වලින් පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය වෙනුවෙන් සජිත් වෙනුවට කරු ජයසූරිය මහතා අගමැති ධූරයට පත්කර ආණ්ඩුව සකස් කරන්නට යන කතාවකි. මේ වනවිට මන්ත්‍රීධූරයක් නොමැති කරු ජයසූරිය ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට කැඳවාගෙන මෙම වෙනස කරන්නට යන බවක්ද ආරංචි වේ.



අන්තර වාර පාලනයේ කැබිනට් ඇමති තනතුරු සඳහා පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජනය නොමැති වනු ඇති බවද තවත් 15 දෙනෙකුගෙන් යුත් බුද්ධි මණ්ඩලයක් බාහිරින් තෝරා ජාතික ලැයිස්තුව තුලින් ගෙන ඒමට ද යෝජනා වී තිබේ.
ඒ අනුව පෙනී යන්නේ බොහෝ විට වෙනත් රටවල සෙනෙට් මණ්ඩලයක් වැනි කණ්ඩායමක් ඉදිරි කාලයේ රට භාරගනු ඇති බවයි.
සජිත්ගේ අභිලාශය ඉදිරියේදී මහජන ඡන්දයකින් ජනපති ධූරයක් හෝ අගමැති ධූරයක් වෙනුවෙන් ඉදිරිපත්වීම බවද දැනගන්නට තිබේ. මෙම තීන්දු තවම සාකච්ඡා මට්ටමින් පවතින නිසා අවසන් නිගමන ලෙස සැලකෙන්නේ නැත.