
පවතින ආර්ථික අර්බුදය නිසා රාජකාරි කටයුතු කිරීමේදී ගැටලු රාශියක් ඇති වී තිබෙන නිසා එම ගැටලු විසඳා ගැනීම සඳහා හෙට (04දා) ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මීට සමගාමීව කොළඹ හා අවට ප්‍රදේශවල සිටින ග්‍රාම නිලධාරීන් ඒකාබද්ධ වී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාල දක්වා විරෝධතා පාගමනක් පවත්වන බවද එම එකමුතුවේ සාමාජික ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම නිසා ග්‍රාම නිලධාරීන්ට මාසයක කාලයක් සඳහා ලබාදෙන රුපියල් 1,600ක ඉන්ධන දීමනාව ක්‍ෂේත්‍ර රාජකාරි කටයුතුවලට යාම සඳහාවත් ප්‍රමාණවත් නොවන බවත්, මේ නිසා ඉන්ධන දීමනාව ඉහළ දැමිය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේ නොමැති නම් මාසයකට සිදුකරන ක්ෂේත්‍ර රාජකාරී දින ගණන අඩු කිරීම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලට වාර්තා කළ යුතු දින ගණන හා වෙනත් රැස්වීම සඳහා කැඳවන දින ගණන අඩු කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව 2016 වසරීන් පසු කාර්යාල දීමනාව ඉහළ දමා නොමැති බවත්, මේ නිසා ග්‍රාම නිලධාරිවරුන්ට කාර්යාල කුලී ගෙවීමට තම පෞද්ගලික මුදල් වියදම් කිරීමට සිදුව තිබෙන බවත් පවසා සිටි හෙතෙම, මේ නිසා අදාළ දී මානව ඉහළ දැමිය යුතු බවද ප්‍රකාශ කළේය.
ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වසරක කාලයකට ලබා දෙන්නේ, රුපියල් 1,500 මුදලක් බවත්, එම මුදලින් ෆොටෝකොපි ගසන කොළ බන්ඩලයක්වත් මිලදීගත නොහැකි බැවින් මෙම මුදලත් ඉහළ දැමිය යුතු බවත් කමල් කිත්සිරි මහතා සඳහන් කළේය.මෙම ඉල්ලීම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත්, එයට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති නිසා අසනීප නිවාඩු වාර්තා කිරීමේ හා විරෝධතා පාගමනක් පැවැත්වීමේ ක්‍රියාමාර්ගය සිදුකරන බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් භාරදීමටත් කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)