diabetes-patient-advice

ජිවිතයේ විවිධ හේතු නිසා බොහෝ දෙනා විවිධ අවස්ථාවලදී මානසික ඇදවැටීමිවලට ගොදුරු වෙති. මෙසේ නිතර ඇතිවන මානසික ගැටලු නිසා කලක් යනවිට මානසික ආතතියට ගොදුරු වන පිරිස් සිටිති. මෙසේ ආතතිය තම ජීවිතයට දිගුකාලීනව එකතුවීම අවසානයේ විශාදය නමැති රෝගයෙන් පෙළෙන මානසික රෝගියකු බවට පත්වීමට පැතුවේ. එහෙත් අද විවිධ හේතු නිසා ආතතිය පළන පිරිස් එන්න එන්නම වැඩිය. මෙය බොහෝ විට ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් ද කෙනෙකුට වැළඳිය හැකිය.

ෙදියවැඩියාව හා මානසික ආතතිය දියවැඩියාව රෝගයට ගොදුරුවීමෙන්ද මානසික ආතතිය දිගුකාලීනව බොහෝ දෙනාට සෑදිය හැකිය. කෙසේ වුවද මෙය දෙයාකාරයකින් සිදුවිය හැකිය. දිගුකාලයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන විට එම රෝගයේ අතුරු ආබාධ සංකුලතා නිසා ඔවුන්ට දැඩි මානසික ආතතිය තත්ත්වයක් හට ගනී. එසේම දැඩි මානසික ආතතිය කාලයක් තිබීමෙන්ද එම පුද්ගලයාට දියවැඩියාව වැළඳීමේ අවදානමක් පවතී. එනිසා ඒ දෙකම ගැන දැන අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්ය.



කල්පවතින දියවැඩියා රෝගය නිසා ඇතිවන මානසික ගැටලු ‍

පාලනය නොකළ දියවැඩියා රෝගය හේතුවෙන් සංකුලතා බොහොමයකට රෝගියා ගොදුරු වේ. එනම් ඇස් අන්ධවීම, හෘදයාබාධ, පාද ඉවත් කිරීම, ලිංගික දුබලතා, වකුගඩු අකර්මණ්‍ය වීම, ස්නායු ආබාධ වැනි දෑ ය. මෙයින් රෝගියා දැඩි ලෙස මානසික ආතතියට පත්වේ. මෙසේදැඩි මානසික ආතතිය හේතුවෙන් රෝගියාට විෂාදය ඇති විය හැකිය.


ස්ට්‍රෙස් හෝමෝනය ශ්‍රාවය වීම

දියවැඩියා රෝගයේ සංකූලතා ලෙස කලකිරීමට පත්වීම, මානසික පීඩාව, ආතතිය යන දෑ නිසා සිරුරේ ඇතැම් හෝමෝනවල අසමතුළිතතා හටගනී. මෙසේ වන්නේ ප්‍රෙස් හෝමෝනය හෙවත් කෝටිසෝල් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම නිසාය. එසේ කෝටිසෝල් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවයවීමෙන් ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතින්වේ. මේ නිසා රුධිරගත සීනි මට්ටම ඉහළ යයි. මෙම තත්ත්වය නිසා දියවැඩියා රෝගියාගේ රෝගය පාලනය කිර්මට අපහසුය.




ජීවන රටාව වෙනස්වීම

දියවැඩියා රෝගයට ගොදුරු වූ විට රෝගය. පාලනය කිරීම සඳහා බොහෝ විට ජීවන රටාව වෙනස් කිර්මට සිදුවේ. එසේම රෝගියා සදාකාලයටම ඖෂධ ලබාගන්නා කෙනකු බවට පත්වේ. නිතර වෛද්‍ය උපදෙස් ගැනීමට සිදුවේ. මේ හේතුවෙන් රෝගියා අසහනයට පත්වීම බෙහෙවින් දක්නට ලැබේ. එය ආතතිමය තත්ත්වයනට බෙහෙවින් බලපානු ඇත.  


දරුවන්ටත් බලපානවාද?

අද කුඩා වියේ දරුවන් පවා පළමු වර්ගයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන අවස්ථා පෙරට වඩා හඳුනාගනී. මෙයින් දරුවන් පසුකාලීනව විෂාදමය තත්ත්වයට ගොදුරුවීම ද බෙහෙවින් දක්නට ලැබෙන්නකි. ඒ ළමා වියේ පටන් රිසි සේ ආහාර පාන විශේෂයෙන් කුඩා දරුවන් ප්‍රියකරන පැණි රස ආහාර තහනම් වීම හා පෙර දී ගෙවූ ජීවිතයට විවිධ බාධා ඇති වීම වැනි දෑ නිසාය. මෙම කනස්සලුභාවය දිගටම පැවැතීමෙන් රෝගියා ආතතියට ගොදුරු වේ. ඒ පසුකාලීනව විෂාදයට පරිවර්තනය වීමට බෙහෙවින්  බලපායි.


ලිංගික දුබලතා ඇතිවනවාද?

දියවැඩියා රෝගයට ගොදුරු වූ විට කලක් යන විට ලිංගික දුබලතා ඇතිවේ. මෙනිසා තරුණ වියේ සිට  මෙම රෝගයෙන් පෙළෙන බොහෝ දෙනාට ලිංගික පිවිතය සතුටින් ගත කිරීමට බාධා ඇතිවේ. මෙය ද මානසික ආතතියට පත් වීමට හේතුවේ. එය පසුකාලීනව විෂාදයට හේතුවේ. මේ නිසා දියවැඩියා  රෝගීන්ගෙන් සියයට 20-30 ක් පමණ විෂාදයට. ගොදුරුවන බව සමීක්ෂණ වාර්තාවලින් හෙළිවී තිබේ.  

සායනික ගැටලු  

විෂාදයට ගොදුරුව සිටින දියවැඩියා රෝගීන් බොහෝ විට නිසි ලෙසට සායනවලට සහභාගී  නොවෙයි. මේ නිසා දියවැඩියා රෝගයද නිසි ලෙසට පාලනය නොවේ.   එසේම අපේ රටේ මෙවැනි රෝගීහු බොහෝ විට ලිංගික දුබලතා වැනි ගැටලු  වෛද්‍යවරුන්ට පැවසීමට මැලිවෙති. මේ නිසා ඔවුන් ජීවිතය ගෙවන්නේ බොහෝ මානසික ගැටලු සමගය. එසේම විෂාදයෙන් පෙළෙන දියවැඩියා රෝගීන් වෛද්‍යවරයාට නිතර පවසන්නේ ශාරීරික අපහසුතා ගැනය. මෙහිදී පරීක්ෂා කිරීමෙන් එය මානසික රෝගී තත්ත්වය හා දියවැඩියාව යන කරුණු කාරණා හේතුවෙන් ඇතිවන බව පැහැදිලිය.



ආර්ථික ප්‍රශ්න විවාහයේ ගැටලු ආදී බෙහෙවින් දක්නට ලැබෙන ගැටලු ආදිය ඇති පුද්ගලයන්ට දිගුකාලීනව මානසික ආතතිය තිබීමෙන් දියවැඩියා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවේ. සාමාන්‍යයෙන් දිගුකාලීන මානසික ආතතිය, විෂාදය සහ වෙනත් මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට පසුකාලීනව දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමක් පවතී. එසේම මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයා බොහෝ විට අලසව  සිටීම හා නිදාගැනීමට බෙහෙවින් කැමැත්තක් දක්වයි.  ඔවුනට නිතර අක්‍රමවත් ආහාර වැඩි ප්‍රමාණයෙන් අවශ්‍යය. මේ හේතුවෙන් මානසික ආතතියෙන් පෙළෙන වැඩි දෙනා තරබාරු වෙති. මෙම සාධක  දියවැඩියා රෝගයට බෙහෙවින් බලපායි.


 ඖෂධවල බලපෑම

මානසික රෝගවලට ලබාදෙන ඇතැම් ඖෂධ  දියවැඩියා රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක්  පවතී. මේ නිසා දිගුකාලීනව මානසික රෝගවලට ඖෂධ ගන්නා අය රුධිරයේ සීනි මට්ටම ගැන නිතර අවධානයෙන් සිටිය යුතුය. මානසික රෝගයට ලබා දෙන Anti psychotics නමැති ඖෂධ දියවැඩියා  අවදානම තවත් වැඩි කරන බවද පැවසිය යුතුය.

මෙනිසා දියවැඩියා රෝගයෙන් පෙළෙන අය විෂාදය ගැනත් අවබෝධයෙන් සිටිය යුතුය. එහි මූලික ලක්ෂණ මෙසේය. හේතු නොමැතිව දුකෙන් පෙළීම  පෙර තිබූ සතුට අහිමි වූ අයකු මෙන් කාලය ගත කිරීම දෙනික වැඩ කටයුතු කරගෙන යාමට ශයේ ශක්තිය අඩුවීම මෙම ලක්ෂණවලට අමතරව ඔවුන්ගෙන් පහත සඳහන් රෝග ලක්ෂණද දැකිය හැකිය. ආහාර ගැනීමට ප්‍රිය බව අහිමිවීම. නිතර අසුබවාදීව සිතීම. දිවිනසා ගැනීමට සිතීම ලිංගික සබඳතාවලට ආශාවක් නොමැතිවීම ශරීර සෞඛ්‍යයට මානසික සෞඛ්‍යයද ඉතාම වැදගත් වේ. එහෙත් අද සමාජයේ බොහෝ දෙනා මානසික සෞඛ්‍ය ගැන නොසිතති. එනිසා අප සමාජයේ ඉහත සඳහන් රෝග ලක්ෂණවලින් පෙළෙන එහෙත් තමන් මානසික රෝගියකු ලෙසට නොදන්නා අය බෙහෙවින් සිටිති.

සමහර විට ඔබ කලක පටන් විශාදය  රෝගයෙන් පෙළෙන අයකු විය හැකිය. එසේම මේ  හේතුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු ව සිටින්නකු වීමටත් පුළුවනි. එනිසා ඉහත සඳහන් ලක්ෂණ පවතී නම් හෝ ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් වී ඉහත සඳහන් කළ ලක්ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම වැදගත්ය. ඒ  මානසික ආතතිය කලක් තිබීමෙන් දියවැඩියා රෝගයට නොදැනුවත්වම ගොදුරුව සිටීමත්, දියවැඩියා රෝගියෙක් වන ඔබ එම රෝගය නිසා මානසික ආතතිය විෂාදය වැනි මානසික රෝගයකට ගොදුරුව සිටීමටත් හැකි නිසාය.

විශේෂඥ වෛද්‍ය මෞලි අරඹෙවෙල
සටහන -  ශිරානි ගල්ලෑල්ල