World investigators in Russia to search for crimes in Ukraine

යුක්රේන ආක්‍රමණයත් සමඟ රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් ඊයේ (18) යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ. එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශනයක් සඳහා පිටත් කළ වැඩිම නියෝජිතයන් පිරිස මෙම කණ්ඩායම යැයි ද පැවැසෙයි. විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙන්නේ නීතීඥ කරීම් බාන් ය.



“රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පෙබරවාරි 24 වැනිදායි. ආක්‍රමණය ආරම්භ වූ පළමු දිනයේ පටන් රුසියන් හමුදා කළ යුද අපරාධ සම්බන්ධයෙන් යුක්රේන හමුදාව  සහ රජය අපට පැමිණිලි කර තිබෙනවා. යුද  අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ලෝකයා දැන ගැනීම වැදගත්. පෙබරවාරි 24 වැනිදායින් පසු මුළුම යුක්රේනයම අපරාධයක් සිදුවුණු ස්ථානයක්  ලෙස අප සලකනවා. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශනයක් සිදු කරනවා. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, ඔහුගේ හමුදා ප්‍රධානීන්ට, බුද්ධි අංශ ප්‍රධානීන්ට එම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට සිදුවෙන්න පුළුවන්”  යැයි කරීම් බාන් යුක්රේනයේ කීව් අගනුවරදී මාධ්‍යවේදීන් අමතමින් පැහැදිලි කළේය.



විමර්ශන කණ්ඩායම, ඉදිරි දිනවලදී යුක්රේනයේ යුද අපරාධ සිදුවුණු බව පැවැසෙන නගර වෙත යෑමටත්, සිවිල් වැසියන් සහ සොල්දාදුවන් හමුවී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමත් සිදු කරනු ඇත. ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ හේග් නුවරය. යුක්රේනයට පැමිණි විමර්ශන කණ්ඩායමට අයත් වැඩි දෙනා නෙදර්ලන්ත ජාතික නීතීඥයන් සහ අපරාධ පරික්ෂණ නිලධාරින්ය. එම පිරිස ලබා දීමට සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය, නෙදර්ලන්ත රජයට ස්තුති කර තිබේ. ඊට අමතරව ප්‍රශංයේ අධිකරණ  වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් ද විමර්ශන කණ්ඩායමට එක් වී සිටින බව පැවැසෙයි.