Petrol-for-one-day-Prime-Minister-endless-queues-near-the-shed

ඊයේ(16) ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුනේ
‘මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා.

ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න  කටයුතු කරනවා.‘
ලෙසිනි. මේ හේතුවෙන් ඉදිරි දිනවල සිය එදිනෙදා කටයුතු සඳහා පෙට්‍රල් හිඟ වේවි යයි කල්පණා කළ මෝටර් රථ, යතුරු පැදි ත්‍රී රෝද රථ හිමියන් ඊයේ රාත්‍රී සිටම පෙට්‍රල් රැස් කිරීමට පෝලිම් වලට එක්ව තිබේ.
පසුගිය දිනවල පැවති පෝලිම් වලට නොදෙවෙනි ලෙස අද උදේ වනවිට කිලෝමීටර් ගණන් දිගු පෝලිම් පෙට්‍රල් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පිරවුම්හල් අසළින් වාර්තාවේ.

ඒ අසළ වාහන තදබදයන්ද වාර්තාවී තිබේ.
මේ හේතුවෙන් එක්වරම ඉන්ධන හිඟයක් මතුවිමේ අවදානමක් ඇතිවිය හැකි බවද වාර්තාවේ.
පාරේ වාහන ධාවනය වෙනදාට වඩා අඩුවී ඇති බවද නිරීක්ෂණය වන අතර පෙට්‍රල් ඉතිරි කරගැනීමේ අටියෙන් එසේ වන්නේයයි අනුමාන කෙරේ.


පෙට්‍රල් හිඟයක් ගැන ඛනිජතෙල් භාර කංචන විජේසේකර ඇමතිවරයා ඊයේ ප්‍රකාශයක් කර තිබුනේ නැති අතර ඔහු පැවසුවේ ඩීසල් තොග ලැබී ඇති බව පමණි. කෙසේ වෙතත් පෝලිම්වල නොසිටින ලෙස ඔහු ආයාචනා කර තිබුණි.
"ඊයේ ලද ඩීසල් තොගය සහ ඉදිරි සති 2 තුළ @IndiainSL ණය මාර්ගයෙන් ශ්‍රී ලංකාවට යාත්‍රා 3 ක් පැමිණීමත් සමඟ ප්‍රමාණවත් ඉන්ධන ලබා ගත හැකි වනු ඇත. 1190 ඉන්ධන පිරවුම්හල් බෙදාහැරීම අවසන් වන තුරු ඉදිරි දින 3 තුළ පෝලිම්වල හෝ පිරවීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි", ඔහු ඊයේ ට්වීට් කළේය.