A-request-to-the-Minister-to-hire-public-servants-without-giving-home-to-the-personal-staff

වර්තමාන ආණ්ඩුව යටතේ පත්වන අමාත්‍යවරුන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලය සඳහා රාජ්‍ය සේවකයන් යොදාගන්නා ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඊයේ (16දා ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය සඳහන් කරයි.

අමාත්‍යවරයෙකුට පුද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම්, සම්බන්ධීකරණ ලේකම් හා පාර්ලිමේන්තු කටයුතු ලේකම් වශයෙන් තනතුරු 05කට පුද්ගලයන් පත් කරගත හැකි බවද එම සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය.මේ එක් තනතුරක් සඳහා වැටුප් හා දීමනා ලබාදීමට මාසයකට රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත්,

වර්තමාන ආණ්ඩුව යටතේ ඇමති ධුර 20ක් පත් කිරීමට නියමිත බවත් හෙතෙම පවසා සිටියේය. මේ අනුව මෙම ඇමතිවරුන් 20 සඳහා ලේකම්වරුන් 100ක් පත් කළ යුතු බවත්, මේ නිසා මාසයකට රුපියල් ලක්ෂ සියයක මුදලක් වැය කිරීමට සිදුවන බවත් පවසා සිටි අජිත් ජයසුන්දර මහතා, අදාළ තනතුරු සඳහා රාජ්‍ය සේවය තුළ සිටින උගත් බුද්ධිමත් පිරිස් පත් කිරීමට කටයුතු කළහොත් ඒ සඳහා රජයට කිසිදු මුදලක් වැය නොවන බවද සඳහන් කළේය.දැනට රාජ්‍ය සේවය තුළ සිටින පිරිස් සඳහා වැටුපක් ලබාදෙන බවත්, මේ ආකාරයට අදාළ තනතුර සඳහා රාජ්‍ය සේවකයන් යොදාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් පමණක් නිකුත් කිරීම ප්‍රමාණවත් බවත් ඒ මහතා පැවසීය.

අමාත්‍යවරුන්ගේ හිටපු ලේකම්වරුන් හා දැනට සිටින අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන් තම සංගමයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන බවත්, රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදකාරී තත්වයට විසඳුමක් ලෙස වැඩි වශයෙන් රටට මුදල් ඉතිරිකර ගැනීම සඳහා මෙම යෝජනාව සිදුකළ බවත් අජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.පසුගිය කාලයේ සිටි සමහර අමාත්‍යවරුන් අදාළ තනතුරු සඳහා පත්කර ගනු ලැබුවේ, තම මැතිවරණ ව්‍යාපාරවලට සම්බන්ධ වී කටයුතු කළ පිරිස් බවත්, මේ නිසා අදාළ තනතුරු සඳහා උගත් බුද්ධිමත් රාජ්‍ය සේවකයන් බඳවා ගන්නා ක්‍රමයක් ඇති කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළ හෙතෙම, මෙම තීරණය රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යමණ්ඩල පත්කර ගැනීමේදීත් අදාළ විය යුතු බවද පවසා සිටියේය.


(එච්.අයි. තුෂාර- අද)