Cant-say-when-the-countrys-economy-is-right--Central-Bank-Governor

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගනිමින්, ණය ප්‍රතිව්‍යුහගත කරමින්, ආර්ථික පුනර්ජීවනය සඳහා සාර්ථක ක්‍රියා මාර්ග අනුගමනය කළත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථාතත්වයට පත් වන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම දුෂ්කර බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. ලබන වසරේදී රටේ ආර්ථිකය නියමිත මාර්ගයට ගැනීමට හැකි වුවද එය යළි හොඳ තත්ත්වයකට ගන්න බැහැ යැයිද ආචාර්ය වීරසිංහ මහතා කීවේය.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ‘පුවත්පත් සමාජය' (ප්‍රෙස් ක්ලබ්) කොළඹදී සංවිධානය කළ විශේෂ දේශනයකට එක්වෙමින්, මහ බැංකු අධිපතිවරයා එසේ පැවැසීය.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා” මැයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පෙරේදා (23 වැනිදා) පස්වරුවේ පැවැති එම දේශනයේදී මහ බැංකු අධිපතිවරයා මෙසේද කීය. ඉදිරි සති කිහිපය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම ස්ථාවරව පවත්වා ගැනීමට අප උත්සාහ ගන්නවා.

අප මේ වසර අවසානයේ තවත්  ක්‍රියාමාර්ග හඳුන්වාදීමට සූදානමින් සිටිනවා. ඒ සියල්ල සාර්ථක වුවහොත්, ආර්ථිකය ලබන වසරේ යළි නියමිත මාර්ගයට ගන්න හැකියාව ලැබේව්වි. ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් වැඩි  දෙනෙකුට රැකියා අහිමිවිය හැකියි. ඔවුන්ට දරිද්‍රතා රේඛාවට පහළින්  සිටීමට සිදුවන්නත් පුළුවන්. අප ඉදිරියේදී ජනතාවට මුදල් ප්‍රදාන සහ අනෙකුත් දිරිගැන්වීම් ලබා  දීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ දැනට  පවතින විදේශ සංචිත ප්‍රමාණය  අඩුවීමයි. ලංකාවට සතියකට අවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීමට පවා එය ප්‍රමාණවත්  නැහැ. අපට ඉදිරි වසර කිහිපය තුළ ණය හිමියන් හත් දෙනෙකුට ගෙවීමට ඩොලර් බිලියන 6 ක් අවශ්‍යයි.  2022 අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාව ණය හිමියන්ට ගෙවීමට තිබූ ණය නතර කිරීමට පියවර ගත්තා. රජය ණය හිමියන්ගේ ණය බැඳීම් ඉටු කිරීමට නොහැකි බව නිවේදනය කර තිබෙන අතර, දිගු කාලයක් පුරා වගකීම් ඉටු කිරීම සඳහා වැඩි කාලයක් සහ සහන පියවර ඉල්ලා තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත්  දුෂ්කර ක්‍රියාවලියක් වන නමුත් මහ බැංකුව සාකච්ඡා පවත්වමින් ඒ සම්බන්ධයෙන් එකගතාවක් ඇති කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාමාන්‍යයෙන් මාස 2-3 ක් තිස්සේ පවතිනවා.

ශ්‍රී ලංකාවේ විදේශ ණය තිරසාර නොවන බැවින්, ණය බැඳීම් තිරසාර මට්ටමකට ගෙන එනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර මුදලක් ලබා ගැනීම අසීරුයි. ශ්‍රී ලංකාව මීට පෙර කිසි දිනෙක ණය ප්‍රතිව්‍යුහගත කර නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවට මෙම ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් නැතැයි ද මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

අපි වඩාත් සැලකිල්ලක්, අවධානයක් දැක්විය යුත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමටයි. අපි ඉන්ධන, ගෑස් වැනි අත්‍යාවශ්‍යදේ ආනයනය කරනවාද? නැතිනම් වෙනත් දේ ආනයනයට ඉඩ දෙනවාද? කියා කල්පනා කළ යුතුයි. ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ ගෑස්, ඉන්ධන, ඖෂධ, ආහාර වැනි අත්‍යවශ්‍ය දේ ලබා දීමටයි.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින්නේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා. ඒ සඳහා මහ බැංකුවේ මූල්‍ය අමාත්‍යාංශයේත් නිලධාරීන් සහභාගී වෙනවා.රටේ මුදල් ඇමති කෙනෙකු නැතිවීම ගැටලුවක්දැයි ප්‍රශ්නයක් යොමු  කළා. මුදල් අමාත්‍යවරයකු පත් කර නොමැතිවීම දැනට ගැටලුවක් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ සාකච්ඡාවලදී ඊට කැබිනට් මණ්ඩලය සහ මුදල් ඇමැතිවරයකු සිටීම අවශ්‍යයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේෂන් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ ද ආරාධිතයන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.