
බත්තරමුල්ල පැල්වත්ත පාලම් තුන මංසන්ධිය ප්‍රදේශයේ අද (6) රාත්‍රීයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව කියැවිණි.
කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව නිසා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් විරෝධතාවයේ නියැලී සිටි පුද්ගලයෙකුට පහරදුන් බවද වාර්තා විය.
කුපිත වූ විරෝධතාකරුවන් පලවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. කුඩා දරුවන් ඇතුළු වැඩිහිටි පුද්ගලයින් කඳුළු ගෑස් ප්‍රහාරයට හසුවූ අතර කඩිනමින් ගිලන්රථ මගින් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.