athula-kaluarachchi-speaks

හෝටල් , උත්සවශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන විවිධ පුද්ගලයන්ට අයත් බව පෙන්වා දෙමින් දේශපාලන සහ පෞද්ගලික කෝන්තරවලට අනුව පුද්ගලයන් පොලඹවා ගනිමින් සිදුකෙරෙන හානි කිරීම වළක්වාලීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මෙය සංචාරක  ක්ෂේත්‍රයටද දැඩි හානිකර තත්වයක් බවත් සමස්ත ලංකා උත්සවශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා පැවසීය.ගම්පහ, කිරිල්ලවලදී පෙරේදා (11) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ සභාපතිවරයා,



"මේ වනවිට අපි විශාල අර්බුදයකට මුහුණපා සිටිනවා. මුළු දිවයිනෙහිම දේපොළ විනාශ කරන්නන් පිරිසක් බිහිවීම හේතුවෙන් අපගේ සාමාජිකයන්ට සහ ඒවාගෙම මෙරට උත්සවශාලා සහ සංචාරක හෝටල්  පවත්වාගෙන යන තැනැත්තන්ට විශාල හානියක් සිදු වෙමින් පවතිනවා. එම හානි වළක්වාලීමට අදාළ අංශ මගින් කටයුතු කරන ආකාරයක් දකින්නට නැහැ. මීගමුවෙ අපේ සහෝදර උත්සවශාලා සහ හෝටල් සංකීර්ණ දෙකක් ඉතාමත් අවාසනාවන්ත  ලෙස ගිනි බත්කර තිබෙනවා. ඉතින් මෙවන් සිදුවීම් අනාගතයේදිත් දිගින් දිගටම සිදු වන්නට පුළුවන්.

අපි පිළිගන්නව හැමෝටම දේශපාලන සහ විවිධ මතිමතාන්තර ඇති. නමුත් මෙලෙස විනාශ කරන්නේ රටට අයිති දේපළ, මෙම දේපළ විනාශ කර ගැනීම මහා අපරාධයක්.

මෙවන් සිද්ධි සිදු කරන්නේ අරගලකරුවන් නොවෙයි. ඔවුන් එම කටයුත්ත ඉතා සාමකාමීව සිදු කරගෙන යන නමුත් කිසිදු දේශපාලන හරයක් නොදන්නා ඊර්ෂ්‍යාවෙන් සහ කුහකත්වය පෙළෙන ඉතා සුළු පිරිසක් විසින් මෙවන් දේවලට  පොලඹවනවා. ඉතින් අපි රටේ බලධාරින්ගෙන් සහ ආරක්ෂක අංශවලින් අපි ඉල්ලා සිටිනව, යම් ඉගියක්  ලද විගස මෙම ස්ථාන රැක දීමට පියවර ගන්නා  ලෙසට.

පසුගිය වසර හතරක් තිස්සේ මේ මංගල උත්සව  ශාලා ක්ෂේත්‍රයේ සියලුම දෙනාට සහ මීට සම්බන්ධ  සියලුම සේවා සපයන්නන්ට දැඩි අර්බුදකාරී  තත්වයකට මුහුණ පෑමට සිදුව තිබුණා. අපිට වැඩිම රැකියා අවස්ථා තිබෙන්නේ මැයි මාසයේදීයි. මේ හතරවැනි වරටත් මැයි මාසය නැති වෙන්නයි යන්නේ. තවදුරටත් කළහකාරීන් හැසුරුනොත්, මෙම කඩාකප්පල්කාරී වැඩ කිරීමට පෙලඹූනොත් මෙම වසරේ මැයි මාසයේදිත් මේ ක්ෂේත්‍රයෙන් යැපෙන සෘජු හා වක්‍ර රැකියා කරන ලක්ෂ පහළොවකගේ අනාගතය විනාශ වෙන නිසා අපි රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනව මෙවන් තත්වයන් වළක්වාලීමට කටයුතු කරන ලෙසට." එම සංගමයේ උපසභාපති සාලිය රවීන්ද්‍ර, භාණ්ඩාගාරික ජනක සිරිවර්ධන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

තිලකරත්න දිසානායක