
ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික කඩාවැටීම හමුවේ ජනතාව පීඩාවට පත්ව ඇති පසුබිමේ ආණ්ඩුවේ ඇමති පුටු මාරු කරමින් ජනපතිවරයා ‘සෙල්ලමක්‘ නිරතවන්නේ අවධානය වෙනතක යවා සිය බලය රැකගැනීමේ ව්‍යාජ උවමනාවෙන් බවට මේවනවිට විවේචන පවති.
බලයට කෑදර මන්ත්‍රීවරුන්ද පක්ෂ අතහරිමින් ප්‍රතිපත්ති පාවාදෙමින් ඇමති ධූර වලට පොරකති.
කෙසේ වෙතත් අන් කවර ඇමතිකමක් ඉල්ලුවත් කිසිවෙකු ‘මුදල් ඇමතිකම‘ ගන්නේ නැති අතර දෙන්න හැදුවත් එපාම කියති. හේතුව නම් ගොඩගන්නට බැරි ආර්ථික ප්‍රශ්නයට අතගැසීමෙන් පසු තමන්ට ඉන්න හිටින්නට බැරි වන බව දන්නා නිසාය.
රජය පිහිටුවන විට මුදල් ඇමති වූයේ මහින්දය. ඉන්පසු 'රට බේරාගන්නා උදාර මිනිසෙකු' ලෙස විශාල ප්‍රචාරයක් දියත් කර බැසිල් එම පුටුවට පත් කළේ අනාගත අගමැති වන්නේද ඔහු බවට ඉඟි කරමිනි.
රුපියල $ අගය 200 තබාගැනීම, කළු සල්ලි සුදු කිරීමේ පනත් ගෙන ඒම ,සල්ලි අච්චු ගැසීමේ විකල්ප,අයිඑම්එෆ් එපා කියා එක් එක් රටවලින් සුළු ණය ගැනීමේ උපායන් වැනි පැලැස්තර විසඳුම් ගෙනා බැසිල් -කබ්රාල් හවුල අවසානයේ ජනතාව පාරට බැස්සුවෝය.
ආසන්න මාස කිහිපයේ මෙම මුදල් ඇමතිකම බැසිල්ගෙන් සබ්‍රීට ගියත් සබ්‍රී දවසින් අස්වූයේය. පසුව අයිඑම්එෆ් සාකච්ඡාවට යන්න හොඳට කථාකරන කෙනෙක් ඕනැයි කියා සබ්‍රී ටික දවසකට යලි පත් කරන්න ජනපති ඇවිටිලි කළේය.
අගමැති මහින්ද 09 වනදා ඉල්ලා අස්වූ පසුව ඇමති මණ්ඩලය විසිරුණ නිසා එදා සිට අද මැයි 24 වනතුරුත් රටේ මුදල් ඇමති කෙනෙකු නැත.
මෙය සබ්‍රීට දෙන්නට ජනපති යෝජනා කළත් ඔහු බැහැම කිව්වේය. පසුව රනිල්ම එය තබාගන්නට පසුගිය සතිය වනවිට තීන්දු කර තිබුණත් එය පහසු නැති බව තේරුම් ගෙන තිබෙයි.අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිකම බාරගන්නවාට මහබැංකු ප්‍රධානීන් සහ මුදල් අමාත්‍යංශ ප්‍රධානීන් දැඩි විරෝධයක් පළ කර තිබූ බවද වාර්තා විය.
කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගැනීමට තීන්දු කරන බව කියූ සබ්‍රී අවසානයේදී මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ජනාධිපතිවරයා වෙත එකගතාව පළ කොට ඇති බව ඊයේ වනවිට ආරංචිමාර්ග තහවුරු කරයි.
සබ්‍රි මහතාගේ පවුලේ ඥාතීන්ගේ දැඩි ඉල්ලීම වී තිබුණේ ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගන්නා ලෙසට වන අතර සබ්‍රි මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ තමන් අමාත්‍ය ධූර බාර නොගන්නවා පමණක් නොව තම මන්ත්‍රී ධූරයද අත්හැරීමට සූදානම් බවකි.
ජනාධිපතිවරයාගේ දැඩි ඉල්ලීම මත අවසානයේදී මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට සබ්‍රි මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.