There-are-videos-of-thugs-in-Temple-Trees-calling-for-an-attack-on-the-struggle

අරලියගහ මන්දිරයේ සිටි 'මැර' මන්ත්‍රී පිරිස ගෝල්ෆේස් අරගලයට පහරදෙන ලෙස පවසන වීඩියෝ තම සංගමය සතු බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසීය.නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගැනීමට නියම කළ ලැයිස්තුවට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි යන අයගේ නම් ඇතුළත් නොවීම පිළිබඳ සැකයක් ඇති වන බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවකදීය.



එහිදී වැඩිදුරටත් අදහදැක්වූ ගුණසේකර මහතා, "ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුව ගෙදර යැවීම වෙනුවෙන් රට තුළ මාස ගණනාවක් පුරා අරගලයක් සිදුවෙමින් තිබෙනවා. ගෝල්ෆේස් අරගලය සන්ධිස්ථානයක් වී තිබෙනවා. අද වන විට මහින්ද රාජපක්ෂ මෙම අරගලයට පහරදී දින 08ක් ගතවී තිබෙනවා. මෙම කුමන්ත්‍රණය සිදු කළ රාජපක්ෂ ආණ්ඩුව 1,500ක පමණ පිරිසකගේ නාම ලේඛනයක් සකස් කර ඇති බවටත්, එයින් 300කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවටත් වාර්තා වෙනවා. මාධ්‍යවලත් සමාජජ්ජාලා තුළත් මහින්ද රාජපක්ෂ විසින් එවන ලද2,000කට වැඩි පිරිසකගේ පහරදීමේ වීඩියෝ සංසරණය වෙමින් තිබුණත් රනිල් - රාජපක්ෂ ආණ්ඩුවට තාමත් මෙම පිරිසගෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන්නේ තිදෙනෙක් පමණයි.


ඊයේ (16දා) දිනය වන විට නීතිපතිවරයා විසින් මෙයින් 22ක පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට දන්වා තිබෙනවා. ඊයේ දිනයේ සමාජවාදී තරුණ සංගමය විසින් මීට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානය වටලනු ලැබුවා. මහින්ද, ජොන්ස්ටන්, දේශබන්දු තෙන්නකෝන්, සනත් නිශාන්ත ඇතුළු දේශපාලන මැරයන් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අපි පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා.

එම ස්ථානය වැටලීමේදී එම ස්ථානයට පැමිණි නිලධාරියා අපට පොරොන්දු වුණේ දින 07ක් ඇතුළත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවයි.


මේ ඔහු අපට කියන ලද දෙයයි. කෙසේ වුවද, සවස් වන විට නීතිපතිවරයා නම් 22ක ලැයිස්තුවක් අත්අඩංගුවට ගන්නා ලෙස ඉදිරිපත් කර තිබුණා. එසේ වුවද ඔහු මෙහිදී, සාක්ෂි ඇත්නම් යනුවෙන් සටහනක් යොදනවා. මේ රටේ නීතිපතිවරයා සාක්ෂි ඇත්නම් යනුවෙන් ප්‍රකාශ කරන්නේ ඇයි? මාධ්‍ය තුළ සමාජජාලා තුළ මීට අදාළ වීඩියෝ සාක්ෂි ඕනෑතරම් තිබෙනවා. එතරම් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නම් 22ක් පමණක් ඉදිරිපත් කර, සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස පවසා තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා.



පොලීසිය උනන්දු නම්, ගෝල්ෆේස් අරගලයට පහරදුන් මෙම මැර මන්ත්‍රීන් අත්අඩංගුවට ගත හැකියි. මෙම නම් 22 තුළට මහින්ද රාජප්ප,නාමල් රාජපක්ෂ ඇතුළත් නොවුණේ ඇයි? ප්‍රසන්න, පවිත්‍රා අමතක වුණේ ඇයි? මේ කුමන්ත්‍රණයෙන් සිදුවුණේ කුමක්ද? මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයට තමන්ගේ මැර හමුදාව ගෙනත් උද්වේගකර සාකච්ඡා පවත්වලා, දැන් මේ වැඩේ ඉවරයි, අපි ගෝල්ෆේස් එකට ගහන්න යන්නේ කියන වීඩියෝ අපි සතුව තිබෙනවා. මේ සියල්ල සිදුවුණේ අගමැති නිල නිවාසයේදී. ඒ මන්දිරය තුළ ඉඳගෙන තමයි මේ කුමන්ත්‍රණය සැලසුම් කළේ” යැයි සඳහන් කළේය.



(නවෝද්‍යා පවනි)