Student-loses-life-in-power-outage

විදුලිය කපා හැර තිබූ රාත්‍රී කාලයේ කුප්පි ලාම්පුවක් දල්වගෙන පාඩම් කරමින් සිටි 16 හැදි පාසල් සිසුවියක ලාම්පුව පෙරළී බරපතළ පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බව ඉලවාලි පොලිසිය කියයි.  පෙරේදා (2) රාත්‍රී මෙය සිදුවී තිබිණි.  සිද්ධියෙන් මියගොස් ඇත්තේ කන්කසන්තුරේ පොලිස් වසමේ ඉලවාලි පිරාන්පට්ටු ප්‍රදේශයේ පදිංචි සුදර්ශන් සදුර්නිකා නමැති 16 හැවිරිදි සිසුවියක වන අතර ඇය තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහලු දරුවා බව ද පොලිසිය පවසයි.  මෙම සිසුවිය මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීම සිටීමට නියමිත බවත්, සිද්ධිය වූ දින රාත්‍රි 7.00 ට පමණ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඇය කුප්පි ලාම්පුවක් දල්වාගෙන පාඩම් කරමින් සිට ඇති බවත් පොලිසිය කියයි.



සිසුවියගේ කාමරයට නිතර නිතර පැමිණ ඇගේ බාල සොහොයුරා බාධා කිරීම හේතුවෙන් ඇය කාමරයේ දොරගුළු ලාගෙන පාඩම් කරමින් සිට ඇති බව ද පොලිසිය පවසයි.  ඇය පාඩම් කරන අතරවාරයේ කිසියම් හෝ හේතුවකින් ලාම්පුව පෙරලී මෙම ගින්න  හටගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි. සිසුවිය කාමරයේ දොරගුලු දමා ගෙන සිටි හෙයින් ගින්න නිවා ඇය පිටතට ගැනීමට අපහසු වී ඇති අතර,
නිවැසියන් අසල්වාසීන්ගේ උපකාර ඇතිව කාමරයේ දොර  කඩා, ගින්න නිවා සිසුවිය ඉවතට ගත් බව ද පොලිසිය පවසයි.

කාමරයෙන් ඉවතට ගන්නා අවස්ථාවේදීත් සිසුවිය දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලබා සිට ඇති අතර ඇය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව ද පොලිසිය කියයි.  සිසුවියගේ පියා බස් රථ රියැදුරකු බවත්, ඔහු රැගෙනවිත් තිබූ පෙට්‍රල් කෑන් එකක් සිසුවියගේ කාමරයේ තිබී ඇති බවත්, ගින්නෙන් එම පෙට්‍රල් කෑන් එකට ගිනි ඇවිළී ගින්න මුළු කාමරය පුරාම පැතිර ගොස් ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.



-ඉන්දිකා රාමනායක-