Mahindas-resignation-is-not-a-permanent-resignation-but-a-return-to-service

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාංජපක්ෂ මහතාගේ ඉවත්වීම සදාකාලික ඉවත්වීමක් නොවිය හැකි බවත්, එසේම ඒ මහතාගේ සේවය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සමගින් නැවත ලබාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව කිසිවෙකු ඉවත් වීමට අවශ්‍ය නොවන අතර, සියලු දෙනා එක්ව රට වෙනුවෙන් එක් තැනකට පැමිණිය යුතු බව හෙතෙම පැවසීය.



එසේම අලාභ ලබන ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම විකුණන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන බවත්, ඒ අනුව එය ප්‍රතික්ෂේප කිරීමට තම පාර්ශ්වයට නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී මාධ්‍යවේදීන් සහ මන්ත්‍රීවරයා අතර වූ සංවාදයේ කෙටි සටහනක් පහතින් වේ.

මාධ්‍ය -

                 2019 මැතිවරණ වේදිකාවල ඔබතුමාලගේ මූලික සටන් පාඨයක් වුණේ රනිල් වික්‍රමසිංහ රටේ ජාතික සම්පත් විකුණනවා. ආර්ථිකය විනාශ කළේ එතුමා කියලා. දැන් ඇයි රනිල් විශ්වාස කරන්නේ ?

ඩී.බී. හේරත් මහතා -

                      දැන් එයාර් ලංකා එක පවත්වාගෙන යන්න බෑ. විශාල පාඩුවක්. අගමැතිතුමා කියනවා ඒක විකුණනවා කියලා. ඒකට එපා කියන්න බෑ අපිට. අපි අලුතින් හිතන්න ඕනෑ වෙලාවක්. මේ වෙලාවේ පාඩු පිට මේ සුදු අලියන් නඩත්තු කරනවාට වඩා රට නිවැරදි තැනකට ගෙන යන්න ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්ක අපිට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා දේශපාලනය වශයෙන්. මේ වෙලාවේ එතුමා මේ වගකීම භාර ගත්තා, භාර අරගෙන ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා යම්කිසි තැනකට එනවා. එයා රට විනාශ කළා කියලා එයාව පැත්තකට දාලා ගමනක් යන්න අපිට පුළුවන්ද? එයා අපිට උදව්. කරන්න එකතු වෙනවා නම් එයාවත් අපි ගන්න ඕනෑ. මමනම් එකඟයි ඔය අගමැතිතුමාත් එක්ක යන ගමනට.



මාධ්‍ය -

               පවතින සමාජ ප්‍රශ්නයට විසඳුම් දෙන්න මහින්ද මහත්තයාට වඩා රනිල් මහත්තයාට පුළුවන් කියලාද ඔය දීලා තියෙන්නේ ?

ඩී.බී. හේරත් මහතා -

                මට එහෙම කියන බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ කෙනෙක්. ඒ ඉවත්වීම සදාකාලික ඉවත්වීමක් නොවෙන්න පුළුවන්. ආපසු එතුමාගේ සේවයත් මෙතන්ට ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක. මෙතනදි මම දරන මතය කවුරුවත් වෙන් වෙන, ඉවත් වෙන්න අවශ්‍ය නෑ, හැම දෙනාම එක තැනකට එන්න ඕන.

මාධ්‍ය -

           මහින්ද මහත්තයාගේ ඉවත් වීම සදාකාලික නැද්ද?

ඩී.බී. හේරත් මහතා -
                     අපිට අනාවැකි කියන්න බැහැ පැරදිච්චි නායකයෙක් කවදාවත් ආයේ පුටුවලට එන්නේ නෑ කියලා. නමුත් මේ රටේ මහජනතාව එතුමාව කැඳවාගෙන ආවා. ඉතින් අනාගතයේ මහජන මතය කොහොම වෙයිද කියලා අපි දන්නේ නෑ.



(නිදර්ශනී වික්‍රමසිංහ)