temporary-government

පවතින දේශපාලන අර්බුදය තීරණාත්මක තැනකට ගෙන එමින් විපක්ෂයේ සජබ ඇතුළු ප්‍රධාන පක්ෂ සමග ශ්‍රිලනිපය හා ආණ්ඩුවෙන් ස්වාධීනවූ කන්ඩායම් එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ තීරණය අද (25) සවස ලබාගත් බව දේශපාලන ආරංචි වාර්තා කරයි.




ආණ්ඩු පෙරළීමේ සාකච්ඡාවන්හි ප්‍රබලයෙකු වන රාජිත සේනාරත්නද සමග මෙම තීරණාත්මක කථාබහට විමල් ගම්මංපිල දයාසිරි ටිරාන් අලස් එක්ව තිබේ. සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර,හර්ෂ ද සිල්වා,ගයන්ත කරුණාතිලක හා එරාන් වික්‍රමරත්නද කථාබහට එක්ව ඇත.
අද (25) උදේ උදය ගම්මංපිල 120ක බහුතරයක් දැන් විපක්ෂයට ඇති බව කී අතර දවල් වනවිට තොණ්ඩමන්ගේ ආසන 2 ක්ද එයට එක්විය. ඒ අනුව 122 දක්වා ආණ්ඩු විරෝධී කන්ඩායම ඉහළ ගියේය.

මෙම පිරිස ආණ්ඩුවට ඉවත්වන ලෙස දැනටමත් දන්වා ඇති අතර අනතුරුව සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදහස් කර තිබේ.


ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාව මෙම සතිය තුල කතානායකවරයාට භාර දෙනු ඇති අතර එතැනදී පරාජයෙන් පසු ජනපතිට අවශ්‍ය නම් මහමැතිවරණයකට යා හැකිය.
මහින්ද රාජප්කෂ තවදුරටත් අගමැති ලෙස තබාගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගෙන් පෙරේදා දිනයේදී ලේඛනයකට අත්සන් ගැනීම ආරම්භ කළද එයට 50 ක් වත් සොයගන්නට අපහසුවූ බව අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ආණ්ඩුව පෙරළන්නට හෝ මැතිවරණයකට යන්නට පෙර පවතින කන්ඩායම් තුළින් රටට ඵලදායි සාධනීය වෙනස්කම් සිද්ධ කර ඉදිරියේදී වෙනත් තීරණ ලබාගැනීම උච්ත බව විශ්ලේෂකයින් පෙන්වාදී ඇත.

දැනට භාරදී ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යාම සඳහා පක්ෂ නායක රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා 28 වනදා පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියම කර ඇත.



එමෙන්ම, ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා අග්‍රාමාත්‍යවරයාට, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාට, නීතිපතිවරයාට ඉදිරිපත් කළ බවත් අද රැස්වන කැබිනට් මණ්ඩලයේදි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායකවරයා දන්වා ඇත. අද රැස්වීමේදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද රාත්‍රියේ පැවැත්වෙන අතර මේ වනවිට පොහොට්ටුවෙන් කැඩී විශාල පිරිස් ගම්මට්ටමින් ශ්‍රීලනිපය වෙත එකතුවන බැවින් 28 වනදා රටපුරා පවත්වන්නට නියමිත විරෝ​ධය ඔවුන්ගේ නැවත නැගී සිටීමක් කරගන්නා වෑයමක් ලෙස සලකා ඇත.