rambukkana-murder-cour-updates

රඹුක්කන ප්‍රදේශයේ 19 දින සිදු වූ උද්ඝෝෂණයක් අතරතුරදී තරුණයෙකු මියයාම, පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින (20) බී වාර්තා දෙකක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත කරුණු වාර්තා කර තිබුණි.

අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන පරීක්ෂණ මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකළ අතර මීට පොලිස් නිළධාරින් හා සීයයකට අධික නීතීඥවරුන් සහභාගි වී තිබුණි.
ස්ථාන පරීක්ෂණය රාත්‍රී හත පමණ වන තෙක් පැවැත්වූ අතර සිද්ධි මාලාවේ විවිධ අවස්ථා ඇසින් දුටුවන් කිහිප දෙනෙක් ස්ථාන පරීක්ෂණයේදී මහේස්ත්‍රාත්වරිය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දී තිබුණි.


මෙහිදී අදාළ ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදුවී තිබූ බව මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක්විය.
ස්ථාන පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව ( නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද- උපරිම දණ්ඩනය වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවමකි) මහේස්ත්‍රාත්වරිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටිමින් සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා ඇති ආකාරය අධිකරණයේදී නිරීක්ෂණයට භාජනයට භාජනය විය.
එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල වු අතර අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටි අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු විය.
එසේම මෙහිදී නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කල හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය බවත්‍ ය.



එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ සිදුකිරීමට නියෝග කරන ලෙස නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක් තම ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය වන ලද වීඩියෝ පට වල සංස්කරණය නොකරන ලද දර්ශන එම ආයතනය භාරයේ සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් හා එකී වීඩියෝ පට එම ජනමාධ්‍ය ආයතනය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නියෝගයක්ද නීතිඥවරු ඉල්ලා තිබේ.



තවද නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනටමත් අදාල සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිලිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කල පොලිස් නිළධාරියා හා වෙඩි තැබීම කල පොලිස් නිළධාරින් මරණකරු සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුලත් කරන ලෙසයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරාල මහත්වරුන් සමග තවත් නීතිඥවරුන් සීයයකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පෙනී අධිකරණය ඉදිරියේ පෙනී සිට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම අද (21) දිනයේත් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවේ.