rambukkana-death

ඊයේ (19) රඹුක්කන ඇතිවූ කලහකාරී සිදුවීම නිසා පොලිස් වෙඩි පහරකින් තරුණ ජීවිතයක් අකාලයේ අහිමි විය. මෙම සිදුවීම මේ වනවිට ඇමරිකානු තානාපතිනිය ඇතුළු විදෙස් නියෝජිතයින්ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයද හෙළාදැක ඇති අතර උද්ඝෝෂණය මරණයකින් කෙළවර කරන්නට පොලිසියට සිදුවූයේ ඇයිද යන්න ගැන විමසමින් විවිධ තර්ක ගොඩනැගී ඇත.
මේ හේතුවෙන් මධ්‍යම රාත්‍රි ඇඳිරිනීතිය පනවමින් ඒ ගැන විශේෂ ප්‍රකාශයක් පොලිස්පතිවරයාද සිදු කළේය.


ඔහු එහිදී මෙසේ කීය.
"පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රීරෝද රථයකට ගිනි
තැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයක් ද ගිනි තැබීමට උත්සාහ කළා.ඒ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් බැටන් ප්‍රහාරයක් මුලින් හා දෙවනුව එය නොනැවතූ නිසා  කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට පියවර ගත්තා. එහිදී පිරිසක් විසිර ගියද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ප්‍රහාරයක් එල්ල කළා.එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද එහිදි බරපතළ ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන්ව වටකර පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි අවම බලය යෙදවීමට කටයුතු කළා.එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුවත් ඔවුන් පාලනය වුණේ නෑ. එහිදී දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා."



ඉන්ධන ලීටර 33000 ක් රැගත් බවුසරය ගිනිගත්තේ නම් මහත් විනාශයක් ඇතිවන බවත් එම ගින්න වැළැක්වීමට ගිනි තබන්නට උත්සාහ කළ අයට වෙඩි තැබූ බවද පොලිසිය කියා තිබේ.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවකින් මෙම ප්‍රකාශය ප්‍රශ්නයට නගන කරුණු ඉස්මතුවේ. ඉන් දැක්වෙන්නේ එකී බවුසරය  දුම්රිය ගමනාගමනයට බාධාවන ලෙස රේල් පාර හරහා නවතා උද්ඝෝෂණය කළ පිරිස් ඊට ආසන්න ස්තානයක ටයරයක් පුළුස්සා ඇති ආකාරයයි.

මෙම වීඩියොවේ හැටියට (එය ලබාගත් අවස්ථාවේ)  බවුසරයට පොලිස් ආරක්ෂාවක් නැත. බවුසරය තියන තැනින් එහා මෙහා කරන්නට බැරි වන්නට එහි ටයරවල හුළං අරින්නට පිරිසක් උත්සාහ කරන නමුත් එයට කෑගසන ඇතැමෙකු එලෙස කරන්න එපා යයි දන්වා ඇත.

බවුසරයට හානියක් කරන්නට ඔවුන් උත්සාහ දරා ඇතිද යන්න ඒ අනුව සැකයට භාජනය වේ.
කෙසේ වෙතත් වීඩියෝගත නොවූ කලහකාරී අවස්ථාව ගැන පොලිසිය පවසන කරුණු පමණක් පිළිගන්නට සිදුවේ.
අදාළ වීඩියෝව පහතින්