president-meeting-with-parties

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමේ අදහසින් ඊයේ රාත්‍රී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ගිය මෛත්‍රී සමග ශ්‍රීලනිප කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන සමග ස්වාධීන කණ්ඩායම හා වාසු ඇතුළු අනුබද්ධ පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා වැදගත් තීරණ නොගෙන අවසන්වී තිබේ.
මෙම සාකච්ඡාවේදී හිටපු ජනපති මෛත්‍රිපාල 20 වන සංශෝධනය අහෝසිකර 19 යළි පිහිටුවමු යනුවෙන් ගෙනා යෝජනාවට

ජනපති එකඟවී නැති අතර ජනපති පවසා ඇත්තේ 20 අඩුපාඩු තිබේ නම් ඒවා පමණක් සංශෝධනයට ලක් කළ හැකි බවයි.ඒ අනුව වාසුදේව නානායක්කර මහතා දන්වා ඇත්තේ 21 වන සංශෝධනයක් ඒ අනුව ගෙන ආ හැකි බවයි.
ජනපති මොවුන් කැඳවා අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කරනු ඇතැයි මුලින් අදහස්වූවද එම සාකච්ඡාවේදී එැවන්නක් ගැන කතාවී නැත. ජනපතිට වඩාත් තහවුරු කර දැනගන්නට උවමනා වී ඇත්තේ ඉදිරි දෝෂාභියෝග හෝ විශ්වාසභංග යෝජනාවකින් බහුතරය විමසන ඡන්ද විමසීමකදී පාර්ලිමේන්තුවේදී තමන්ට පක්ෂපාතීව ඡන්දය දෙන්නට මෙම කණ්ඩායම් සූදානම්ද නැද්ද යන්න සැකහැර දැනගැනීමටය. ඒ ගැන විමසමින් ජනපති ඔවුන්ගෙන් නැවත නැවත ප්‍රශ්න විමසූ බව දේශපාලන ආරංචි වාර්තා කරයි.


ඊයේ ජනපති හමුවීමට ප්‍රථම මෛත්‍රීපාල සිරිසේන සජබ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා වටයක් පවත්වා තිබීම නිසා ජනපතිට ශ්‍රිලනිප කන්ඩායම ගැන සැකයක් පැවති බවද වාර්තා විය.
විපක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ විශ්වාස භංග යෝජනාවක් හැකි ඉක්මනින් ගෙන ඒමයි. කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ විපක්ෂයේ යෝජනාව මෙම අවස්ථාවේ සුදුසු දෙයක් නොවන බවකි.
මේ අවස්ථාවේ ජනපති ගැන ජනතාව කළකිරී ඇත්තේ ඔහු සතු අසීමිත බලතල නිසා බවත් ඒවා සංශෝධනයෙන් පසු ජනතාව සිය විරෝධතා අවසන් කරනු ඇතැයි තම විශ්වාසය බවත් වාසුදේව නානායක්කාර දන්වා ඇත. ඒ නිසා හැකි ඉක්මනින් 21 වන සංශෝධනයක් බලාත්මක කරවා ජනපතිගේ විධායක බලය අවම කිරීම සුදුසු බව ඔහු නිර්දේශ කර තිබේ.


ජනපති සමග සාකච්ඡා කරන්නට ගිය කණ්ඩායම සිතූ දේවල් ජනපති කථාකර නැත. රටේ පවතින උද්ඝෝෂණ රැල්ල ගැන හෝ ඉහළගිය ජීවන වියදම වචනයක් හෝ අදහස් හුවමාරු කරගෙන නැත.
‘අපි එහෙනම් අවුරුද්දෙන් පස්සෛ හම්බ වෙලා ආයෙ කතා කරගමුකො...‘ ලෙස ජනපති සාකච්ඡාව අවසන් කර ඇත්තේ තීරණයක් ගන්නට බරපතල දෙයක් නැති බව අඟවමිනි. එසේම ඊළඟ රැස්වීමට දින නියමයක් හෝ සිදු කර නැත.