parliament-viyathpura

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකුට බත්තරමුල්ල වියත්පුර මහල් නිවාස  සංකීර්ණයෙන් සුපිරි නිවාස ලබාදීමට ඇරඹු ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් දී ඇත. රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ව්‍යාපෘතිය හදිසියේම මෙසේ නතර කරනු ලැබූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් යම් යම් විරෝධතාද පසුගිය කාලයේදී එල්ලවී තිබූ බව  එම ආරංචිමාර්ග සඳහන් කරයි.

බත්තරමුල්ල වියත්පුර නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.  නිවාස වෙනුවෙන් බැංකු ණය ක්‍රමයක් යටතේ සහනදායි ණය ලබාදීම එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ. ඒ යටතේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් කෝටියක් හෝ  ඊට වැඩි ණය මුදලක් ලබාදීමට අපේක්ෂා කෙරුණු බවද එම ආරංචිමාර්ග සඳහන් කළේය.  නිවාස ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයාට සිය නොසතුට පළකර ඇතැයි වාර්තා වේ. 

මේ අතර, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් නිවාස නොලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය  දෙනකුට පිටස්තර ස්ථානවලින් නිවාස කුලියට ගැනීම සඳහා රුපියල් 75,000 බැගින් මුදලක් ඔවුන්ගේ වැටුපට එක්කරන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

- සුජිත් හෙවාජුලිගේ-