mahindananda-gota-go-home

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දී ඇති වූ ගැටුමකින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන චාමික ජනාත් ධර්මතිලක නොහොත් සෑම් ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව නාවලපිටිය බව්වාගම ටෂ්මින්ද  සිල්වා හා උජිත් ද සිල්වා යන දෙදෙනා කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.



 'ගෝඨා ගෝ ගෝ හෝම් කියමින් මෙම අවුරුදු පාටියේදී ආණ්ඩුව විවේචන කළේ යැයි කියන සිද්ධියක් මුල්කර ගනිමින් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති බව පොලිසිය පවසයි. පහර කෑමට ලක්වූ උජිත් ද සිල්වා බේරා ගැනීම සඳහා ලක්ෂ්මන් ද සිල්වා යන දෙදෙනා නිවෙසේ සිට පැමිණි පසු ඔහුට ද මොවුන් පහර දී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.මෙම අවුරුදු සාදය ඉකුත් 15 වැනිදා රාත්‍රියේ මෙම ප්‍රදේශයේ හෝටලයක තිබී ඇති අතර ඒ සඳහා අමාත්‍යවරයා සහභාගී වී ගිය පසු මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය කියයි.



ටෂ්මින්ද සිල්වා නැමැත්තා වාහන ආනයන කරන ව්‍යාපාරිකයකු වන අතර ඔහු ඇමැතිවරයාගේ සාදයට සහභාගි වී නොසිටි බවත් නිකරුණේ සිටි අයට පවා පහර දීමට තරම් නාවලපිටියේ මැර දේශපාලනය දරුණු වී ඇතැයි පවසා පිරිසක් පෙරේදා 16 වැනිදා සවස නාවලපිටිය රෝහල අසල විරෝධතාවක ද නිරත වී සිටියහ. මෙම මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් මැර දේශපාලනය අවසන් කරන ලෙසත් සඳහන් වැකි සහිත පුවරු මෙම උද්ඝෝෂකයන් අත තිබුණි. නාවලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් සඳහන් කළේ ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි.

(ෂේන් සෙනෙවිරත්න)