keheliya-speaks

 ගාලුමුවදොරට රැස්ව සිටින පිරිස් 225ම ගෙදර යන ලෙස උද්ඝෝෂණය කළත්, ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත් කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එසේ එවැනි යාන්ත්‍රණයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලු මුවදොරට රැස් වී සිටින උඝෝෂකයන්ට තමන් යෝජනා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේ, පෙරේදා (17)දා මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

"ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමකදී ආණ්ඩුවට බහුතරය නොමැති බව විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පෙන්වුවහොත් ඔවුන්ට බලය ලබාදී ඉවත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ, පාර්ලිමේන්තුවේ 225 ඉවත් වෙලා අපි ඊළඟට රටේ පාලනය භාර දෙන්නේ කාටද කියන ප්‍රශ්නය තිබෙනවා. එහෙම භාරදෙන යාන්ත්‍රණ කුමක්ද කියලා මේ යෝජනා ඉදිරිපත් කරන අයගෙන් මම අහනවා. මේ කියන විදිහට විපක්‍ෂයට රට භාර දෙන්නත් බැහැ. මොකද මේ අය කියන්නේ 225 අයින් වෙන්න ඕන කියලයි. ගාලුමුවදොරට එක් වී සිටින පිරිස් අතර බුද්ධිමතුන් ඉන්න බව කියනවා. ඒ අයට රට භාර දෙන්න යෝජනා කරනවා. මෙලෙස රටක පාලන භාරදීමේ ක්‍රමවේදයක් ලෝක දේශපාලන ඉතිහාසය තුළ මා දැක නැහැ. අදාළ ක්‍රමවේදය පැකේජෙයක් ලෙස ඉදිරිපත් කළොත් අපි සලකා බලනවා. මේ වගේ එල්ලිලා ඉන්න අපට අවශ්‍යතාවක් නැහැ. දේශපාලනය හැර කරන්න විකල්ප දේවල් ඕන තරම් අපට තියෙනවා.රටේ මේ කඩා වැටීමට සම්පුර්ණයෙන් අපි වගකිවයුතු නැහැ. කෝවිඩ් සමග අපේ ප්‍රධාන ආදායම් මාර්ග ගණනාවක් වැහුණා.

සංචාරක කමාන්තයෙන් ඩොලර් බිලියන 05ක් විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 07ක් ඇතුළුව රටට ලැබෙන සියලු ආදායම ඩොලර් බිලියන හතයි 70ක් වුවත්, ඉන් 70%ක් පමණ වූ ඒ කාලය තුළ අපට අහිමි වූවා. කෝවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ කාලයක් රට වසා තැබීමටද සිදු වූවා. වසංගතය පාලනය කිරීමටයි අපි මූලිකත්වය දුන්නේ. මේවා අමතක කළ යුතු නැහැ.ගෑස්, විදුලිය, ඉන්ධන, සම්බන්ධයෙන් ජනතාව විශාල පීඩනයකට පත් වුණා. ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා” යනුවෙන් පවසා සිටියේය.

(ෂේන් සෙනෙවිරත්න)