isuru-jeewantha-australia-dead

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුවකු රිය අනතුරකින් ඉකුත්දා (18) මියගොස් තිබේ.  මියගොස් ඇත්තේ අත්තනගල්ල, වල්පොළ, සුහද මාවත පදිංචිව සිටි ජී.ආර්. ඉසුරු ජීවත්ත (29) නමැති සිසුවෙකි. මෙම සිසුවා ඕස්ට්‍රේලියාවේ දී සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇති බව ඔහුගේ මවුපියන් වන ජී.ආර්. නිහාල් ගාමිණී පීරිස්, එල්.ටී. කාන්ති ජයමැණීකේ දෙදෙනා තහවුරු කළහ.

ඕස්ට්‍රේලියාවේ ජීලෝන් නගරයේදී ඉකුත් 28 වැනිදා සිදුවූ රිය අනතුරකින් තම පුතා වන ඉසුරු ජීවන්ත මියගොස් ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් පොලිසිය දුරකථන මගින් දැනුම්දන් බවද ඔවුහු කීහ. 

තම පුතා ඕස්ට්‍රේලියාවේ "ජීලෝන්" නගරයේ  "ඩීකින්" විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිය අවසන් වසර හදාරමින් සිටි බවත් ඔහු පදවා ගෙන ගිය මෝටර් රථය තවත් රථයක හැපීමෙන් මරණය සිදුව ඇති බව එරට පොලිසිය තමන්ට දැනුම් දුන් බවත් සිසුවාගේ මව්පියෝ පවසති.  අත්තනගල්ල උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයෙන් හා අනතුරුව වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලෙන් සිසුවා උසස් පෙළ දක්වා ඉගෙනුම ලබා ඇත.


අ.පො.ස. උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඇති ඔහු විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. අනතුරුව මොරටුව විශ්විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයට ඇතුළත්ව ඇති ඉසුරු එහි වසර 2 ඉගෙනුම ලබා වැඩිදුර අධ්‍යාපනය සදහා 2018 වසරේ ඕස්ට්‍රේලියාවේ ජීලෝන් නගරයේ ''ඩීකින්'' විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත. තව මාස දෙකකින් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අවසන් කිරිමට නියමිතව තිබියදී ඔහු මෙම ඉරණමට ගොදුරු වී තිබේ.


 -එස්.යූ.ඩබිලිව්.කේ. ජයවර්ධන-