gota-go-gama-court-order

ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තාවේ.



කොටුව පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට අද දිනයේ කටයුතු කරනු ඇති බවට වාර්තා පළව තිබේ.



මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කර ගැනීමට පොලිසිය බලාපොරොත්තු වන බවත් ජනපති කාර්යාලයේ සේවකයන්ට හා විශේෂයෙන් ජනපතිට කරදරයකින් තොරව සිය සේවයට වාර්තාකිරීමට ඇති අයිතිය තහවුරු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බව වාර්තාවේ.
මින් ඉහත වාර්තාවී තිබුනේ ජනපතිවරයා සිය සේවා ස්ථානය කොටුව ජනපති මන්දිරයට මාරු කරගන්නට අදහසක් තිබෙන බවකි.
විරෝධතාකරුවන්ගේ අවහිරය කෙසේ වෙතත් විරෝධතාවන්හි සටන් පාඨ හා හූහඩට ජනපතිවරයා ලක්වීම එතරම් උචිත නොවන බවට උපදේශකයින් පෙන්වාදීම නිසා එම තීරණය ගෙන තිබුණි.

කෙසේ වෙතත් අද  9 වන දිනයටත් අඛණ්ඩව පැවැත්වෙන උද්ඝෝෂණ ක්‍රියාවලිය නතර කරවීමට මෙම වාරණ නියෝගයෙන් හැකියාවක් නොලැබේ.


ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියේ දිවුරුම්දීමෙන් පසු මුල්කාලීනව තැන් තැන්වල උද්ඝෝෂණ වාර්තාවූ කාලයේ ඔහු විසින්ම ‘උද්ඝෝෂණ ස්ථානය‘ නමින් ස්ථානයක් ස්ථාපිත කරවා උද්ඝෝෂණ සඳහා පිළිවෙලක් සකසා දුන් අතර ගාලුමුවදොර යාබද එම ස්ථානය මේවනවිට ගෝටාගෝගම බවට පත්ව ඇත.