
ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සියලු දෙනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ දින 10ක කාලයක සිට රටේ පුරවැසියන් විසින් උද්ඝෝෂණක යෙදී සිටින බව කොටුව පොලීසිය වාර්තාවක් මගින් ඊයේ (18දා) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දැනුවත් කළේය.
තමන්ගේ ඉල්ලීම් සඳහා සාධනීය. පිළිතුරක් ලැබෙනතුරු එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව පවසමින් අරගල කරන මෙම පිරිස සමග බෞද්ධ භික්‍ෂන් වහන්සේල්ලා ඇතුළු සියලු ආගම්වල පූජකවරුන්, විවිධ සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩකයන් ඇතුළු 5,000කට අධික පිරිසක් සිටින බව දැනුම්දෙන පොලීසිය උද්ඝෝෂකයන් විසින් යම් කළහකාරී ක්‍රියාවක් හෝ මහජන සාමය කඩවීමක් වැනි බරපතළ සිද්ධීන් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කිර්මට පියවර ගන්නා බවද දැනුම්දී ඇත.
රජයට විරුද්ධව ගාලුමුවදොර ප්‍රදේශයේ සිදුකරන මහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන බව කොටුව ම/උ21838/2022 යටතේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුදෙන පොලීසිය උඝෝෂකයන්ගේ මහජන පීඩා ක්‍රියාකාරකම් පිළිබඳ ආවේක්ෂණ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් විසින් ඡායාරූප ලබාගෙන විමර්ශන කරන බවද අධිකරණයට දැනුම්දී ඇත.
රජයට විරුද්ධව කටයුතු කිරීමටත් ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සියලු දෙනාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමටත් රැස්වන ලෙස පසුගිය 09වැනිදා සමාජ මාධ්‍යවලින් පණිවුඩ සංසරණය වෙමින් පැවැති බවත්, ඒ අනුව මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ආකාරයේ මහජන සාමය. කඩවීමේ කළහාකාර් තත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා පිටස්තර පොලීසිවලින් නිලධාරීන් කැඳවා සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් බව දැනුම්දී ඇත. සමාජ මාධ්‍යවලින් කරන ලද ඉල්ලීමකට අනුව පසුගිය 09වැනිදා පිරිසක් පැමිණි පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ගමන් කිරීම වැළැක්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස කොටසේ යකඩ බැරියර්ද ජනාධිපති මන්දිරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගයේ පොලිස් නිලධාරීන්ද යොදා ආරක්ෂාව තර කරන ලද බව අධිකරණයට දැනුම්දුන් පොලීසිය සමාජ මාධ්‍යවලින් කරන ලද ඉල්ලීමකට අනුව
පැමිණි පිරිස තමන් කිසිම දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයක සාමාජිකයන් නොවන බව පවසා ඇති බවත් ඔවුන් නොයෙක් සටන් පාඨ කියමින් උද්ඝෝෂකයන් සඳහා වෙන් කළ භූමිය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස කොටස හා මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැළෙන බව එම වාර්තාවේ සඳහන් වේ.
තමන්ගේ ඉල්ලීම් සඳහා සාධනීය. පිළිතුරක් ලැබෙනතුරු එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව පවසමින් අරගල කරන මෙම පිරිස එම ප්‍රදේශයේ තාවකාලික කූඩාරම්, වැසිකිළි පද්ධතියක්, ප්‍රථමාධාර ඒකක, ජංගම දුරකථන ආරෝපන ස්ථාන, ආහාරපාන ගබඩා කිරීමේ ස්ථානයක් ආදී ස්ථාන සකස් කර ඇති බව අධිකරණයට වාර්තා කරන පොලීසිය උද්ඝෝෂකයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස මාර්ගයේ තාවකාලික කුඩාරම් 100කට අධික ප්‍රමාණයක් ඉදිකර ඇති බවද සඳහන් කරන පොලීසිය,
අරගල කරන මෙම පිරිස සමග දෙනිකව බෞද්ධ භික්‍ෂන් වහන්සේලා ඇතුළු සියලු ආගම්වල පූජකවරුද විවිධ සමාජ ක්‍රියාකාරීන්ද කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩකයන් ඇතුළු පීරීස් සම්බන්ධ වෙමින් ගාලු පාර අවහිර වන අන්දමට රැදී සිටිමින් නොයෙකුත් ආගමික කටයුතු, නාට්‍ය සංදර්ශන, සංගීත සංදර්ශන ආදිය පවත්වන බවත්, ශබ්දවාහිනී යන්ත්‍ර මඟින් ඒවා ප්‍රචාරය කරන බවත් අධිකරණයට දැනුම්දී ඇත. මෙමගින් දිවා රාත්‍රීයේ ගාලු පාර හා පදික වේදිකාව භාවිත කරන ජනතාවට විශාල පීඩාවක් සිදුවන බවත්, ඔවුන් භාවිත කොට ඉවත දමන දිරාපත් නොවන ද්‍රව්‍ය හේතුවෙන්ද ශබ්දවාහිනී හේතුවෙන්ද පරිසර හානියක්ද සිදුව ඇති බව දැනුම්දී ඇති පොලීසිය මෙම ප්‍රදේශයේ දිනපතා විවිධ වැරදි සිදුවන බැවින් දේපළ සොරා ගැනීම් ආදී සිද්ධීන් වන බවත් දැනුම්දී තිබේ. මොහොමඩ් යුසුෆ් අහමඩ් සිරාස් නමැත්තා උද්ඝෝෂණයට සම්බන්ධ වීම සිටියදී හෘදයාබාධයකින් මියගොස් ඇති බවත්,
මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොටුව පොලිස් බල ප්‍රදේශයේ දිවා හා රාත්‍රී කාලයේ අධික වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් සඳහන් කරන පොලීසිය, මෙම උද්ඝෝෂණය හේතුවෙන් සාමය කඩවීම වළක්වාලීම සඳහාත් යම් කලහකාර් තත්වයක් ඇති වුවහොත් අවශ්‍ය පියවර ගැනීම සඳහාත් දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බළ ඇණි කැඳවා ස්ථානගත කර ඇති බවද දැනුම්දී ඇත. උද්ඝෝෂකයන්ගේ මහජන පීඩා ක්‍රියාකාරකම් පිළිබඳ ආවේක්ෂණ රාජකාරී කරන පොලිස් නිලධාරීන් යොදවා ඡායාරූප ලබාගෙන විමර්ශන කරන බව දැනුම් දෙන පොලීසිය උද්ඝෝෂකයන් විසින් යම් කලහකාරී ක්‍රියාවක් හෝ මහජන සාමය කඩවීමක් වැනි බරපතළ සිද්ධීන් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර බී වාර්තාවක් මගින් කරුණු වාර්ත කිරීමට පියවර ගන්නා බවද දැනුම් දී ඇත.
(බුද්ධිමාල් රුබේරු)
Comments
Post a Comment
Your comment will be visible after approval