drug-shortage-hospitals

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න පවසන්නේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම පවා සීමා කර ඇති බවයි.


 කොළඹ ජාතික රෝහල් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු පැවසුවේ සායනික රෝගීන්ට එකවර ලබාදෙන ඖෂධ ප්‍රමාණය අඩු කර ඇති බවයි. ඒ අනුව කිසියම් සායනික රෝගියෙකුට මාසයකට ප්‍රමාණවත් ඖෂධ මීට පෙර එකවර ලබා දුන්නද දැන් නිකුත් කරන්නේ සතියකට ප්‍රමාණවත් ඖෂධ පමණකි.

මේ අතර මාස කිහිපයක් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව තිබු ඖෂධ සහ ශල්‍ය උපාංග සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එමෙන්ම ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් හෙට මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු කියයි.

රට තුල පවතින ඖෂධ හිඟයට විසඳුමක් ලෙස ඖෂධ තොග රැගත් නෞකාවක් හෙට(27) මෙරටට ළඟා වන බව  ජයසුමන මහතා පවසන අතර අදාල ණයවර ලිපි මේ වන විට නිකුත් කර තිබුණ ද ඒවා මෙරටට ගෙන්වා ගැනීමට දින 100 පමණ කාලයක් ගත වන නිසා එතෙක් ඉන්දියාවෙන් ණය ප්‍රතිපාදන යටතේ හිමි වන ඖෂධ බෙදා හැරීම සිදු කිරීමට නියමිත බව කියා සිටියේය.