colombo-protest

පවතින ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ කොටුවේ සිට අද (24) ආරම්භ විය.



දිවයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාල නියෝජනය කරන ස්වාමීන්වහන්සේලා තරුණ තරුණියන්, ඇතුළු විශාල පිරිසක් කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර අරගල භූමිය දක්වා ගමන් කරනු ලැබු අතර පාගමන හේතුවෙන් මේ වනවිට මරදාන කාර්මික විද්‍යාල හන්දිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

මේ හේතුවෙන් සම්පූර්ණයෙන්ම මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා පාගමන වැලැක්වීම සඳහා කොළඹ නගරයේ බොහෝ ස්ථාවලට පොලීසිය විසින් මාර්ග බාධක යොදා තිබූ අතර ඇතැම් ඒවා ස්ථිර ලෙස ගැලවිය නොහැකි ආකාරයට ඉතාමත් ශක්තිමත් ලෙස සකස්කර තිබේ.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත මහජන විරෝධයකට එරෙහිව ගෙන ඇති අධිකරණ නියෝගයක්ද පොලිසිය විසින් ගාලුමුවදොර අරගල භූමියේ ප්‍රදර්ශණය කර ඇති බව වාර්තා විය.
කිසිදු දේශපාලන නියෝජනයකින් තොරව පැවැත්වෙන ගාලුමුවදොර සාමකාමී ජන අරගලයට අදට දින 16 ක් සම්පූර්ණ වී ඇත.