canberra-wathsala-karunathilaka-sri-lankan

ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි පදිංචිව සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක මුහුදු රළ පහරකට අසුවී ගසාගෙන ගොස් මුහුදේ ගිලී මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තාකර ඇත. මෙම ඉංජිනේරුවරිය සමග මුහුදේ රළ පාගමින් සිටි ඇයගේ මිතුරියන් දෙදෙනකු හා මිතුරන් දෙදෙනකු ද මුහුදේ ගසාගෙන යමින් සිටියදී ගොඩට ගෙන අසාධ්‍ය තත්වයෙන් එරට රෝහලක දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව මියගිය ඉංජිනේරුවරියගේ පියාගේ සහෝදරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර මහතා පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි තිදරු මවක වූ වත්සලා කරුණාතිලක මහත්මියයි. ඇය ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය වත්සලා මහත්මිය මීට සති කිහිපයකට කලින් මියගිය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න බණ්ඩා මහතාගේ දියණියකි. මියගිය වත්සලා මහත්මියගේ සැමියා ද ඉංජිනේරුවරයකු වන අතර ඔවුන් වසර 20ක පමණ කාලයක සිටම ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර මහතා කීය. තම සහෝදරයාගේ දියණිය ඇයගේ සැමියා සහ එරට වෙසෙන ශ්‍රී ලංකික මිතුරු මිතුරියන් පිරිසක් විනෝදවීමට මුහුදු වෙරළට ගිය අවස්ථාවේ පසුගිය බ්‍රහස්පතින්දා (21) මෙම අනතුර සිදුවී තිබෙන බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පවසයි.



මියගිය දියණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිඩ්නි නුවර රෝහලක මෘත ශරීරාගාරයක තැන්පත් කර තිබෙන බවත් පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති නිසා දේහය තම පවුලේ ඥාතීන්ට බාරදී නොමැති බවත් හරිශ්චන්ද්‍ර බණ්ඩාර මහතා කීය.
 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-