The-executive-presidency-should-be-abolished-and-a-new-electoral-system-is-needed-Communist-Party

රට තුළ පවතින අර්බුදකාරී තත්වය විසඳීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් ඇති කළ යුතු බවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12ක් කර ඇති යෝජනාව ඉදිරියට යා යුතු අතරම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම ද එමගින් සිදුකළ යුතු බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.  එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ. 1948 න් මෙපිට ඉතිහාසය තුළ ඇති වූ  උග්‍රතම ආර්ථික, දේශපාලන හා සමාජයට අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබේ.

සිය ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකට පිවිස ඇති රටක් ලෙස වඩාත්ම නිවැරදි තීරණයට එළඹීමට සහ රටට මගපෙන්වීමට මේ රටේ දේශපාලන ව්‍යාපාරවලට වගකීමක් ඇත.

ජනතාව මුහුණ දෙමින් තිබෙන ක්ෂණික ප්‍රශ්න නොවිසඳා රට මහා මැතිවරණයකට යා හැකි තත්ත්වයක තිබේද යන්න මෙහිලා මතුවන ප්‍රධාන ප්‍රශ්නයයි. මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ පවතින අර්බුදය පාර්ලිමේන්තුව  තුළින් විසඳාගත යුතු බවටයෝජනා කරන අතර ටී. එන්.ඒ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂත් අර්බුදය විසඳා ගැනීම සඳහා නිශ්චිත යෝජනා ඉදිරිපත්  කිරීමෙන් වැළකී සිටින බව පෙනේ.

අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ආණ්ඩු පක්ෂය තුළ හවුල්කාරී ලෙස ක්‍රියා කළ පක්ෂ 11 මතුවී ඇති තත්වය සලකා බලා අන්තර්කාලීන ආණ්ඩුවක් ඇතිකර ගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ පහත දැක්වෙන අරමුණු දෙක සාක්ෂත් කරගැනීමටයි.

1. රට මුහුණ දෙන ඉන්ධන, ගෑස්  ආහාර, ඖෂධ හා විදුලි වැනි ජන ජීවිතය  මුළුමනින්ම කඩාබිඳ දැමූ ප්‍රශ්න විසඳා ගැනීම

2. එම ප්‍රශ්න හැකි ඉක්මනින් (මාස 6 ක් වැනි කාලයක් තුළ) විසඳාගෙන ඉන්පසු නව ජනවරමක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම  ඉහත අරමුණු ඉෂ්ට කරගැනීම සඳහා යෝජනා කෙරෙන අන්තර්කාලීන ආණ්ඩුව නව අග්‍රාමාත්‍යවරයකු යටත්තේ සීමිත අමාත්‍ය මණ්ඩලයකින් යුක්ත විය යුතු බවට ද පක්ෂ 11 යෝජනාව අදහස් කරන්නේය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද කොටස්කරුවෙකු වන ඉහත පක්ෂ ගොනුවේ යෝජනාව රටේ ජනමතය පිළිබිඹු වන ආකාරයට තවදුරටත් ඉදිරියට යා යුතු බව දේශපාලන මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව අන්තර් කාලීන රජයේ වැඩ පිළිවෙළට පහත සඳහන් කරුණුද ඇතුළු විය යුතු බවට යෝජනා කෙරේ.

ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම

2. කේවල හා සමානුපාතික ක්‍රමවල මිශ්‍රයකින් යුත් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම,

ඉහත සඳහන් නිශ්චිත යෝජනා ජන ජීවිතය මුහුණ දෙන උග්‍ර ප්‍රශ්නවලට විසඳුමක් සපයනවාට අමතරව, පුළුල්වන උද්ඝෝෂණයේ මතුව ඇති ඉල්ලීම්වලට විසඳුම් සපයනු ඇත. විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් 1978 සිට අඛණ්ඩව ඊට එරෙහිව සිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනතාවගේ අරගලය ජයග්‍රහණය කිරීම සඳහා කැපවී ක්‍රියා කරන බව ප්‍රකාශ කරමු.