Two--remanded-for-evading-death-toll

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් දෙදෙනකුට ඉතා නුදුරේදී මාරක අපලයක් ඇති බව පවසා එම මාරක අපලය දුරු කිරීමට යාග හෝම පැවැත්වීමට යැයි මුදලින් රුපියල් ලක්ෂ 11ක් සහ ලක්ෂ 7ක රන් ආභරණ වංචා කළ එකම පවුලේ සාත්තරකරුවන් තිදෙනකු අප්‍රේල් මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.



සැකකාර සාත්තරකරුවන් එකම පවුලේ සහෝදර සහෝදරියන් වන සුබ්‍රමනියම් පුල්ලේ කුමාර, කන්දසාමි ඥානසුන්දරී සහ සූර්ය කුමාරි සරස්වතී නමැත්තන්ය. සැකකරුවෝ පුත්තලමේ පදිංචිකරුවෝ වෙති. පැමිණිලිකරුවන් කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි ධනවත් යුවළකි.

ඔවුන්ගේ දියණියන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබති. හදිසියේ නිවසට පැමිණ සාත්තරකරුවන් තිදෙනකු ඔවුන්ගේ අත් බලා නිවාසය පිහිටි දෙස බලා ඔවුන්ගේ දරුවන්ට නුදුරේදීම මාරකවලට මුහුණ දීමට සිදුවන බව පවසා ඇත. ඊට රැවටුණු එම යුවළ දරුවන්ට ඇති අපල දුරු කරගැනීම ඇති මග පිළිබඳව ඔවුන්ගෙන් විමසා ඇත.

එහිදී සාත්තරකරුවන් අපලය මාරක අවස්ථාවකට පත්ව ඇති බැවින් ඔවුන් දන්නා මලයාලම් යාග හෝම සිදුකර මාරකය ඉවත් කළ හැකි බව මවුපියන්ට දන්වා ඇත. සති දෙකක පමණ කාලයක් රැදී සිටි ඔවුන් යාග හෝම කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂ 11ක් වරින් වර මවුපියන්ගෙන් ලබාගෙන ඇත.

පූජා වට්ටියේ තැබූ ලක්ෂ 7කට අධික වටිනා ස්වර්ණාභරණත් රැගෙන, යාග හෝම පසෙක දමා සාත්තරකරුවන් හදිසියේම අතුරුදන් වී ඇත. මෙම සිද්ධිය පිළිබඳව කොච්චිකඩේ පොලිසියට කළ පැමිණිල්ල අනුව ඔහුගේ ජංගම දුරකථන සිතක් ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. කොච්චිකඩේ පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය.

(මීගමුව අධිකරණ - ඩබ්ලිව්. කීර්ති)