ශ්‍රී ලංකාවේ සල්ලි රාජපක්ෂවවරුන් නීති විරෝධී ලෙස උගන්ඩාවේ තැන්පත් කර ඇති බවට ඇනිනොමස් හැකර් වරුන් අද හෙටම හෙළිදරව්වක් කරන්නට යන බවට පැතිර යන සමාජ මාධ්‍ය ආරංචි අතරේ එම මුදල් රැගෙන ගිය බව කියන යානය අයත් ශ්‍රී ලන්කන් සමාගම කලබල වී තිබේ.



උගන්ඩානු රජයේ ඉල්ලීමකට අනුව පසුගිය 2021 වසරේදී එරට එන්ටබේ ගුවන් තොටුපොළ වෙත උගන්ඩා මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැන් පවසයි.

ඊයේ රාත්‍රී 9.52ට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ගුවන් සමාගම මේ බව සඳහන් කර සිටියි. ශ්‍රී ලංකන් කාර්ගෝ සේවය හරහා මෙම මුදල් නෝට්ටු ප්‍රවාහනය සිදු කර තිබේ.

“2021 පෙබරවාරි 4 සහ 5 යන දිනවල උගන්ඩා රජයේ ඇනවුමකට අනුව මුද්‍රණය කෙරුණු මුදල් නෝට්ටු ප්‍රමාණයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ගෝ යානාවක් මගින් රැගෙන යාම සිදුකළා. ලොව රටවල් කිහිපයක සිය කර්මාන්තශාලා පිහිටි -ශ්‍රී ලංකාවේද එක් කර්මාන්තශාලාවක් පිහිටි, ගෝලීයව පිළිගත් ආරක්ෂිත මුද්‍රණ සමාගමක් වෙත උගන්ඩා රජය මෙම ඇනවුම ලබා දී තිබුණා.” යනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර ඊයේ දහවල් 3.00ට පමණ නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම උගන්ඩාවට සිදු කරන ලද මෙම ගුවන් භාණ්ඩ මෙහෙයුම පිළිබඳව කරුණු පැහැදිලි කිරිමක් සිදු කර තිබුණි.



එහිදී 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102ක් ප්‍රවාහන කිරීම සඳහා ශී ලංකන් ගුවන් සමාගමට ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇනවුමක් ලැබුණු බවත්, එය සම්පූර්ණයෙන්ම වාණිජ ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් එගන ඒමට හැකියාව ලැබුණි බවත් සමාගම සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම භාණ්ඩ ඇනවුම වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කර තිබුණි.