pucsl-government

දෛනික විදුලි කප්පාදුව පැය 10ක කාලයක් බවට පත් වූයේ, විදුලි ඉංජිනේරුවන්ගේ අදහස් හා යෝජනා ඉවත දමා ආණ්ඩුව සතුටු කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම නිසා බව විදුලි. තෙල්, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.



මේ නිසා මෙම කොමිසමේ වර්තමාන නිලධාරීන් තවදුරටත් මහජන මුදලීන් යටතේ නොකළ යුතු බවත්, මෙම සියලුම දෙනා කඩිනමින් ඉවත්කර රටට වැඩක් කළ හැකි පිරිසක් පත් කරන ලෙස විදුලිබල අමත්‍යවගෙන් ඉල්ලා සිටින බවත් එම සන්ධානයේ මධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. අමාත්‍යවරිය එම වගකීම ඉටු නොකරනවා නම්, එය ජනතාවට සිදුකරන අසාධාරණයක් නිසා විදුලිබල අමාත්‍යවරයත් කොමිසමේ නිලධාරීනුත් ඉවත් කර ඒ සඳහා වැඩක් කළ හැකි පිරි පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා  සිටින බවද හෙතෙම පවසා සිටියේය.



විදුලී අර්බුදයක් ඇති වන නිසා යම් විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය විසින් මේ වසර ආරම්භයේදී මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බවත්, එයට අවසර ලබා නොදී අඛණ්ඩව විදුලි සැපයුම් ලබාදෙන ලෙස කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබූ බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කර සිටියේය. මේ නිසා ලදුලිය වැඩියෙන් භාවිත කර විදුලිය නිෂ්පාදනය කළ බවත්, මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහත වැටී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එබැවින් ඉන්ධන යොදාගෙන අධික ලෙස විදුලිය නිෂ්පාදනය කිරීමට සිදු වූ බවත්,

මේ වනවිට ඉන්ධන අර්බුදයක් ඇති වීම නිසා විදුලි කප්පාදුව දිනකට පැය දහයක් දක්වා දීර්ඝ වූ බවත් ආනන්ද පාලිත මහතා පැවසීය. එහෙත් විදුලි බලමණ්ඩලය විසින් යෝජනා කර තිබූ ආකාරයට දිනකට පැය දෙක තුනක් විදුලි කප්පාදු කරමින් පවතින අර්බුදය කළමනාකරණය කරමින් ඉදිරියට ගමන් කළේ නම්, මේ ආකාරයේ අර්බුදයක් ඇති නොවන බවත්, මේ නිසා කොමිසම වගකීම් පැහැරහැර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

(එච්.අයි. තුෂාර)