namal-welimada-bandarawela

බණ්ඩාරවෙල මහ නගර සභාවට අයත් අලූතින් ඉදිකරන ලද නලින් ප‍්‍රියන්ත සූරියගේ ක‍්‍රීඩාංගණය තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අතින් විවෘතකිරීමට නියමිතව තිබූ ඊයේ (30 දා) බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ජනතාව ඩීසල් ලබාදෙන ලෙස ඉල්ලමින් ප‍්‍රධාන මාර්ග දෙකක් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.



දින ගණනාවක සිට ඉන්ධන හල් අසල පෝලිම්වල රැඳී සිටියත් ඩීසල් නොලැබීම නිසා කුපිත වූ ප‍්‍රදේශයේ ජනතාව බණ්ඩාරවෙල – වැලිමඩ ප‍්‍රධාන මාර්ගය බණ්ඩාරවෙල නගරයේ පොලිසිය අසල ඉන්ධන පිරවුම් හල අසලින් ද බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය ශාන්ත ජෝශප් විදුහල ආසන්නයේ ඉන්ධන පිරවුම් හල අසලින් ද වසා මෙසේ විරෝධතාවේ නිරතව සිටියහ.
මෙම විරෝධතාව සඳහා පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන බස් රථ සේවකයන්, පෞද්ගලික බස් රථ සේවකයන් සහ ප‍්‍රදේශයේ රථවාහන හිමියන් සහ රියැදුරන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම විරෝධතාව හේතුවෙන් නාමල් රාජපක්ෂගේ ගමන අවලංගු වූ බවත් නලින් ප‍්‍රියන්ත සූරියගේ ක‍්‍රීඩාංගණය බන්ඩාරවෙල නගරාධිපති නිශාන්ත රත්නායක අතින් විවෘත වූ බවත් පසුව වාර්තා විය.
කෙසේ වෙතත් තමන්ට වැලිමඩ බණ්ඩාරවෙල ගමනක් නොතිබූ බවත් තමන්ගේ ගමන අවලංගු වූ කතාව බොරුවක් බවත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා පසුව ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් ජනතාව විඳින අපහසුතාවන් ගැන තමා සමාව ඉල්ලන බවද ඔහු ඒ සමගම කියා ඇත.