
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත අද දින අරුණ පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී සිය බන්ධනාගාර අමාත්‍ය ධූරයට සිදුවූ පළහිලව්ව ගැන කතාකර තිබේ. ඔහු මෙසේ කියයි.
සාර්ථකව රාජකාරි කරගෙන හිටපු ඔබ එල්ලුම් ගහක් බලන්න අවේලාවේ ගිහින් මොකක්ද අර කරගත්තේ...
බන්ධනාගාරය තුළ ඇති ගැටලුවලට සාර්ථකව විසඳුම් ලබා දෙන්න ඉදිරිපත් වුණු මම මේ වගේ දෙයක් කරලා මගේ චරිතය කිසිසේත්ම විනාශ කර ගන්නේ නැහැ. ඒක මොළේ තියෙන හැම මනුස්සයෙක්ටම තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. නමුත් මගේ ක්‍රියාත්මක වීම සහ සාර්ථකත්වය දරාගන්න නොහැකිව බන්ධනාගාරය තුළින්ම සැලසුම් සහගතව මෙවැනි චෝදනාවක් එල්ල වුණා වෙන්නත් පුළුවන්. ඊට අමතරව මේ සිදුවීම සම්බන්ධයෙන් සිහිපත් කළ යුතු තවත් දෙයක් තිබෙනවා. මං සම්බන්ධයෙන් මෙවැනි සිදුවීමක් ගැන කියන රැඳවූවන් මේ සිදුවීමට පෙර ඔවුන්ගේ පදිංචි ප්‍රදේශවලට ළඟ බන්ධනාගාරවලට ඔවුන්ව යවන්නය කියලා ඉල්ලලා තිබුණා. ආරක්ෂක ගැටලු හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලීම්වලට අනුමැතිය ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ ඉල්ලීම් ඉෂ්ට කරගන්න මෙවැනි උපක්‍රමයක් මගින් ඔවුන් උත්සාහ කළා කියලා මම හිතනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ පැත්තෙන් එය සාර්ථක වුණා.
ඔබේ අතේ වරදක් නැතිනම් ඇයි ඉල්ලා අස්වුණේ..?
ජනාධිපතිතුමාගෙන් ලැබුණු අභියෝගය භාර අරගෙන අදාළ ක්ෂේත්‍රයේ ගැටලු එකිනෙක විසඳමින් මට පැවරුණු වගකීම මම නිසි ලෙසින් ඉටු කළත් බන්ධනාගාරය ඇතුළත වුණු සිදුවීමක් සම්බන්ධයෙන් බොරු චෝදනා නගමින් මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පිරිසක් උත්සාහ කළා. විශේෂයෙන් එතැනදී මම වගේම ජනාධිපතිතුමා අපහසුතාවට පත් කරන්න අදාළ පාර්ශ්ව උත්සාහ ගත්තා. ඒ නිසා මම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙලා ඒ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණය සඳහා අදාළ නිලධාරීන්ට අවස්ථාව ලබා දුන්නා.
කෝ දැන් ඒ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයේ වාර්තාව? ඒකෙ මොනවද තියෙන්නේ? ඒ වාර්තාව හැංගිලාවත්ද?
දැන් ඒ පරීක්ෂණ නිමා වෙලා ජනාධිපතිතුමා අතට වාර්තාව ලැබිලා ඇති. නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් තියෙන නිසා ඒ නඩුව අවසන් වනතුරු ජනාධිපතිතුමාටත් තීරණයක් ගන්න හැකියාවක් නැහැ. නඩුව ඉවර වුණාට පසුව පරීක්ෂණය සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබඳ දැන ගන්න හැකියාව තියෙනවා.
(සාකච්ඡාව -ඉන්ද්‍රජිත් සුබසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval