ගල්ඇන්ද පාර කිරිඳිවැල මාළු වෙළෙඳ සලක් අසල අභිරහස් ලෙස මිය ගොස් සිටි පනස් අට හැවිරිදි අවිවාහකයකුගේ මරණය ගෙල සිර වී උගුරු දණ්ඩ කැඩීමෙන් සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වීම හේතුවෙන් මෘත ශරීරය පරීක්ෂා කර බලා මරණය
පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ වාර්තාව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශෂිකලා වනිගසුන්දර මහත්මිය ඊයේ (01) කිරිඳිවැල පොලිසියට නියෝග කළාය. මිය ගොස් ඇත්තේ කිරිඳිවැල කහටගහවත්ත රදාවාන ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිටි දොන් සේකර පතිරැන්නැහෙලාගේ නිමල් පතිරණ (58) නමැති අවිවාහකයෙකි. ඥාති නිවසින් කලකට පෙර පිටව ගොස් ගල්ඇන්ද පාර කිරිඳිවැල මාළු වෙළෙඳ සලක් අසල පදිංචිව සිට ඇති අතර එසේ සිටිය දී මිය ගොස් ඉකුත් 27 වනදා මෘත ශරීරය කිරිඳිවැල පොලීසියට හමු වී ඇත. අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා වතුපිටිවල මූලික රෝහලට රැගෙන විත් තිබිණි.
පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දැනුම් දීමකට අනුව අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශෂිකලා වනිගසුන්දර මහත්මිය ඊයේ (01) දහවල් වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මෘත ශරීරය පරික්ෂා කර බැලීමෙන් අනතුරුව රදාවාන පදිංචි ඥාති දියණියක වන ජේ.ඒ. මිලිකා සංජීවනී නමැත්තිය හඳුනා ගැනීමෙන් පසුව මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය පැවත්විණි. වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතා ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණයට පරීක්ෂණයේ වෛද්‍ය වාර්තාවේ ගෙල සිර වී උගුරු දණ්ඩ කැඩී මරණය සිදුවී ඇති බවටත් පහර දීමක් ද සිදු වී ඇති බවටත් සඳහන් වී තිබීම හේතුවෙන් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය එසේ වැඩිදුර පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ වාර්තාව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කිරිඳිවැල පොලීසියට නියෝග කළාය. මිය ගොස් ඇති තැනැත්තාගේ ඥාති දියණියක වන රදාවාන ජේ.ඒ. සිලිකා සංජීවනී නමැත්තියට මෘත ශරීරය බාරදීමට ද නියෝග කළාය.
-ආනන්ද ඉ ජයකොඩි--