
පේරාදෙණිය රෝහලේ ඖෂධ හිඟයක් මතුවීමෙන් පසු සැලසුම් කළ ශල්‍යකර්ම අත්හිටුවා ඇති බවට පළවූ වාර්තා වෙත අවධානය යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දී තිබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ ගැන විමසා තිබුනි.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සැපයුම්කරුවන්ගේ ප්‍රමාදයක් හේතුවෙන් සැත්කම් සඳහා භාවිත කරන එක් ඖෂධයක හිඟයක් ඇති බවයි.
පේරාදෙණිය රෝහලේ සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ ලබා දෙන බවට වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් සහතිකය මත සැලසුම් කල සැත්කම් නැවත ආරම්භ කිරිමට පියවර ගන්නා බව පේරාදෙණිය ශික්ෂණ රෝහල පසුව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට තරම් ඉන්දියාව සිය අණසක පතුරුවමින් සිටින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය චෝදනා කරයි.
“ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක් අපි ඉන්න තත්ත්වය ගැන.
ඉන්දියාවේ විදේශ ඇමති මැදිහත් වෙලා තමයි ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන්නේ. ඒකෙන් ම තේරෙනවා අපි කොච්චරක් වැටිලා ද? කියලා. කොච්චරක් දුරට ඉන්දියාවට දැන් යටත් වෙලා ද? කියන එක. ඒක තමා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ඉස්සරහට තව කොහොම මැදිහත් වෙයි ද? කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක අද තියෙන ඇත්ත තත්ත්වය ගැන හොඳ උදාහරණයක්.”
Comments
Post a Comment
Your comment will be visible after approval